පසුගිය පැය 24 තුළ පකිස්ථානයේ අධික වර්ෂාව හේතුවෙන් මරණ 63ක් වාර්තා වී තිබෙනවා.

තුවාලකරුවන් 227 දෙනෙකු බවයි පැවසෙන්නේ.

ඒ අනුව පකිස්තානයේ ප්‍රදේශ රැසකට ජූනි මස අග සිට ඇදහැලෙන මෝසම් වර්ෂාව හමුවේ පවතින ආපදා තත්වය හේතුවෙන් මේ වනවිට මියගිය සංඛ්‍යාව 180 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ආපදා ඒජන්සිය පැවසුවා.

බදාදා උදෑසන සිට පන්ජාබ් පළාතේ ප්‍රදේශ හරහා ධාරානිපාත වර්ෂාව විරාමයකින් තොරව ඇද හැලුණු අතර, නගර රැසකින් නිවාස කඩා වැටීම් වාර්තා වී තිබෙනවා.

මරණ රැසක් සිදුව ඇත්තේ එලෙස නිවාස කඩාවැටීම හේතුවෙන් බව ද වාර්තා වේ.

ඉස්ලාමාබාද් අගනුවරට යාබද රාවල්පින්ඩි නගරය හරහා දිවෙන නුල්ලා ලායි ගඟ ආසන්නයේ පහත් බිම්වල වෙසෙන වැසියන්ට ජල මට්ටම තියුනු ලෙස ඉහළ යාමෙන් පසු ඉවත් වන ලෙස අනතුරු ඇගවීම් නිකුත් කර ඇත.

ගඟට යාබද සමහර ප්‍රදේශවල පුද්ගලයින් ආරක්ෂිතව ඉවත් කර ඇති අතර තත්වය දරුණු වුවහොත් කඩිනමින් ප්‍රතිචාර දැක්වීම සඳහා ගලවා ගැනීමේ කණ්ඩායම් සූදානම්ව සිටින බව ආපදා ඒජන්සිය පවසයි.