පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට රුපියල් දෙදහසක මුදලක් අල්ලස් වශයෙන් ලබා දීමට තැත් කළැයි මැල්සිරිපුර පොලිසිය විසින් අල්ලස් පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කල රියදුරෙකු එකී චෝදනාවෙන් නිදහස් කර මුදා හරින ලෙස කුරුණෑගල මහේස්ත්‍රත් ජයලත් මහතා නියෝග කර තිබෙනවා.

සැකකරු නිදහස් කර මුදා හැරීමට මහේස්ත්‍රත්වරයා මෙසේ නියෝග කලේ කිසිදු සැකකරුවෙකු අල්ලස් පනත යටතේ අධිකරණයට ඉදිිරිපත් කිරීමට පොලිසියට කිසිදු නීතීමය බලයක් නැති බවට සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ කීර්ති දුනුසිංහ මහතා ඉදිරිපත් කල විරෝධතාවයක් සැළකිල්ලට ගිනිමිනි මෙසේ නිදහස් කර මුදා හැරියේ කුරුණෑගල සක්‍යා පාර බායි රායිස් නැමති රියදුරෙකි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් මැල්සිරිපුර පොලිසිය කියා සිටියේ රථ වාහන වරදක් කල සැකකරු පොලිසියෙන් මිදීයාම සඳහා පොලිස් නිලධාරීන්ට රුපියල් දෙදහසක අල්ලස් මුදලක් ලබා දීමට තැත් කල බවයි මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශණ සිදු කෙරෙන නිසාත් සැකකරු අල්ලස් පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කර ඇති නිසාත් ඔහු රිමාන්ඩ් කරන්නැයිද පොලිසිය ඉල්ලා සිටියා.

සැකකරු වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ කීර්ති දුනුසිංහ මහතා පැවසුවේ අල්ලස් ලබා ගැනීමේ හෝ අල්ලස් ලබා දීමට තැත් කිරීමේ චෝදනා වලට අදාළව අල්ලස් පනතේ 78 වන වගන්තිය යටතේ සැකකරුවෙකුට එරෙහිව නඩු පැවරීමට බලය ඇත්තේ අල්ලස් කොමිසමට පමණක් බවයි.

එවැනි තත්වයක් තුල මැල්සිරිපුර පොලිසියේ ස්ථානාධිපතිට අල්ලස් කොමිසමේ පත්වීමක් ලබා දීල ද යන්න සහ නැතිනම් අල්ලස් කොමිසමේ ශාඛාවක් මැල්සිරිපුර පොලිසියේ පිහිටා ඇද්ද? යන්න තමන් නොදන්නා බවද අධිකරණයට කියා සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා සිය සේවාදායකයා සියළු බලපත්‍ර අතැතිව මාර්ග නීති පිළි පදිමින් රිය ධාවනය කර ඇති බවත් ඔහු සමඟ බහින් බස්වීමක් ඇති කරගෙන ඒ තරහට පොලිසියට ඔහුට විරුද්ධව අභූත චෝදනා එල්ල කර ඔහු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බවද පවසා සිටියේය.

කෙසේ වෙතත් අල්ලස් පනත යටතේ පොලිසිය සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම මුළුමනින්ම නීතියට පටහැනි බවද කියා සිටි නීතිඥවරයා ඒ අනුව ඔහු මෙම නඩුවෙන් නිදහස් කර මුදා හරින ලෙස ඉල්ලා සිටියා.

දෙපාර්ශවයේ කරුණු දැක්වීම් සැළකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා යම් සැකකරුවෙකු අල්ලස් පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසියට බලයක් නොමැති බවට සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කීර්ති දුනුසිංහ මහතා ඉදිරිපත් කල නීති තර්ක පිළි ගනිමින් සැකකරු ඔහුට එරෙහිව පැවති නඩුවෙන් නිදහස් කර මුදා හැරීමට නියෝග කර තිබෙනවා.