සම්පූර්ණ අද දිනයේම ක්‍රීඩා කර බංග්ලාදේශ පළමු ඉනිමට වඩා වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීම කණ්ඩායමේ අරමුණ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් පවසනවා.

ඒ, මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි.

දෙවන දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම, බංග්ලාදේශ කණ්ඩායමේ පළමු ඉනිමට වඩා ලකුණු 43ක් ඉදිරියෙන් සිටියේ කඩුලු දෙකකට ලකුණු 290ක් රැස්කර ගනිමින්.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන අගෝස්තු මාසයේදී සිම්බාබ්වේ තරග සංචාරයකට එක්වීමට නියමිතයි.

ඒ, අගෝස්තු 29 සිට සැප්තැම්බර් 07 වනදා දක්වායි.

මෙම සංචාරයට එක්දින තරග දෙකක් සහ විස්සයි 20 තරග තුනක් ඇතුළත්.

තරග පහම හරාරේ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව අවසන් වරට 2023 දී සිම්බාබ්වේ හිදී එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගී වූ නමුත් 2016 සිට සිම්බාබ්වේහිදී ද්විපාර්ශ්වික තරගාවලියකට ක්‍රීඩා කර නැහැ.