රක්ෂිත බන්ධනාගාරගත කළ, වැඩ තහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඔහුට බන්ධනාගාරය තුළදී විශේෂ ආරක්ෂාවක් සපයන ලෙස අධිකරණය විසින් ද නියෝග කර තිබුණා.
ඒ අනුව තුෂාර උපුල්දෙණිය මහතා ඊයේ පස්වරුවේ පළමුව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙන එනු ලැබුවා.
ඔහු විශේෂ ආරක්ෂිත ස්ථානයක රඳවා තබන තෙක් එම බන්ධනාගාරයේ පස්වරු 05.00 පමණ තෙක් රඳවා සිටි බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.
ඉන් අනතුරුව ඔහු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාර රෝහලේ විශේෂ ආරක්ෂිත ස්ථානයකට රැගෙන ගොස් එහි රඳවා තිබෙනවා.
මේ අතර රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු වැඩ තහනමට ලක්ව සිටින තුෂාර උපුල්දෙණිය මහතා අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
රක්ෂිත බන්ධනාගාර ගත කළ අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා ද අද දින අනුරාධපුර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ද නියමිතව තිබෙනවා.
ඔහු මේ වනවිට රඳවා සිටින්නේ දුම්බර බන්ධනාගාරයේ ආරක්ෂිත ස්ථානයක බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.
මේ අතර බන්ධනාගාර කොමසාරිස් මෙහෙයුම් ගාමිණී දිසානායක මහතාට අද දිනයේ ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබෙනවා.
ඒ, ජනාධිපති පොදු සමාව යටතේ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවෙකු නිදහස් කිරීමේ සිද්ධියට අදාළව සිදු කෙරෙන විමර්ශන වෙනුවෙන් ප්රකාශයක් ලබා ගැනීම සඳහායි.
පසුගිය 09 වනදා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඔහු කැඳවා පැය 06ක පමණ කාලයක් ප්රකාශ සටහන් කර ගත්තා.