රිමාන්ඩ් බාරයේ පසුවන බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්‍ෂාණී නමැත්තිය ලබන 31 වෙනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
සැකකාරියගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය එදිනට ප්‍රකාශයට පත්කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා නියෝග කළා.
අදාල පැමිණිල්ලද කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය විසින් විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළා.
ඉන් අනතුරුව ඇය අධිකරණය හමුවේ කියා සිටියේ මෙම සැකකාරිය, ඇයගේ සහෝදරිය සහ පියා ඇතුළු ඥාතීන්ගේ බැංකු ගිණුම් 36 ක් පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන ඇති බවත් ඒ හරහා රුපියල් මිලියන 147 කට අධික මුදලක් සංසරණය වී ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවයි.
මෙම සැකකාරියගේ බැංකු ගිණුම් වලට මුදල් තැන්පත් කළ පුද්ගලයින් සහ ඒවා තැන්පත් කළ ස්ථාන පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා වැඩිදුර විමර්ශන සිදු කරන බව ඇය සඳහන් කළා.
ඊට අමතරව මෙම සැකකාරිය සහ ඇයගේ සැමියා විසින් පොලිසියට ලබාදෙන ප්‍රකාශ එකිනෙකට පරස්පර තත්ත්වයක පසු වීම හේතුවෙන් මෙම විමර්ශන කටයුතු සංකීර්ණ වී ඇති බවත් ඇය කියා සිටියා.
මෙම සැකකාරිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ප්‍රකාශ 13 ක් සටහන් කරගෙන තිබෙන බවත් ඇය පිළිබඳව ආකාර දෙකකින් විමර්ශන මෙහෙයවන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල්වරිය පැවසුවා.
ඒ යටතේ එක් විමර්ශනයක් තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ ඉදිරියට සිදුවන අතර ඒ තුළින් මෙම සැකකාරිය ශ්‍රී ලංකාවෙන් පලා යාමට පෙර භාවිතා කළ දුරකථනය ඔස්සේ වැඩිදුර විමර්ශන සිදු කෙරෙන බවත් ඇය සඳහන් කළා.
ඊට අමතරව පසුගිය කාලයේ මෙම සැකකාරියගේ ගමන් පථය හඳුනාගැනීම සඳහා ඇයගේ ෆේස්බුක්, whatsapp ඇතුළු සමාජ මාධ්‍ය ගිණුම්වලට අදාල ඊමේල් ලිපින සහ ඒවායේ මුර පද සොයා ගැනීමට අවශ්‍ය වී තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් ඇයගෙන් විමසීමට අවශ්‍ය නියෝග ලබා දෙන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එම දුරකථනය මේ වන විට සොයාගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති නිසා සැකකාරියගේ ඊමේල් ලිපිනය ඔස්සේ ඊට අදාල දත්ත සොයා ගැනීමට විමර්ශන සිදුකෙරෙන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය පැවසුවා
මෙම සැකකාරියගේ සැමියා සහ ඇයගේ පියා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශයට ලබාදී ඇති ප්‍රකාශ එකිනෙකට පරස්පර තත්ත්වයක පවතින අතර ඒ නිසා විමර්ශන කටයුතු සංකීර්ණ වී ඇති බවත් එම නිසා මෙම විමර්ශන කටයුතු වෙනුවෙන් ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය වී තිබෙන බවත් ඇය සඳහන් කළා.
මෙය ඉතා සංකීර්ණ විමර්ශනයක් බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය මෙම අවස්ථාවේදී සැකකාරියට ඇප ලබා දුනහොත් ඉදිරි විමර්ශන වලට බාධා සිදුවිය හැකි බවත් අධිකරණය හමුවේ අවධාරණය කළා.
ඉන් අනතුරුව සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලක්මාල් රත්නායක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකාරිය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තා සමග සාක්ෂි සම්පින්ඩන ඉදිරිපත් කර තිබුණත් මෙම සැකකාරියට ඇප ලබා නොදීමට තරම් ප්‍රබල සාක්ෂික් කිසිවක් එහි ඉදිරිපත් වී නොමැති බව පැවසුවා.
ඇඹිලිපිටිය ප්‍රදේශයේ මත්කුඩු කිලෝ ග්‍රෑම් 38 ක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව මෙම සැකකාරිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව ප්‍රකාශ කළත් එම සිද්ධියට අදාළව මේ වන විට මහාධිකරණය හමුවේ නඩු පවරා සාක්ෂි බොහොමයක් මෙහෙයවා අවසන් කර තිබෙන බවත් නීතිඥවරයා පෙන්වා දුන්නා.
එම නිසා මෙම සැකකාරියට ඇප දිය නොහැකි වැරදි සඳහා වන සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවත් මුදල් විශුද්ධිකරණය වැළැක්වීම් පනත යටතේ ඇයට ඇප ලබාදීමේ අභිමතය මහේස්ත්‍රාත් අධිකරණය සතුව තිබෙන බවත් නීතිඥවරයා සඳහන් කළා.
ඒ අනුව මෙම සැකකාරිය ඇප මත මුදාහරිණ ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එම ඉල්ලීමට දැඩි විරෝධය පළ කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය ඇප ඉල්ලීම සලකා බැලීමට පෙර මෙම සැකකාරිය මෙම අධිකරණයට පැමිණියේ කෙසේදැයි කල්පනා කර බැලිය යුතු බව පැවසුවා.
මෙම සැකකාරිය තම දරුවාට ව්‍යාජ උපන්න සහතිකයක් සකස් කරගෙන මේ රටින් පිටවී ඇති බවත් ඒ සම්බන්ධයෙන් ආගමන හා විගමන පනත යටතේ වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයේ ඇයට එරෙහිව නඩුවක් ගොනුකර තිබෙන අතර එම නඩුව හෙට දින කැඳවීමට නියමිතව තිබෙන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය පෙන්වා දුන්නා.
මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආවේ රතු වරෙන්තු කරුවන් පිරිසක් සමග සිටියදී බවත් මෙම සැකකාරිය ඇප මත මුදා හරිනු ලැබුවොත් ඕනෑම මොහොතක අධිකරණයට ගෙන්වාගත හැකි මට්ටමක පසුවන තැනැත්තියක් නොවන බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙතින් විවිධ නියෝග ඉල්ලා සිටින්නේ ඇයට එරෙහිව පවතින සාක්ෂි අනාවරණය කර ගැනීමේ අරමුණින් බවත් කියා සිටියා.
මෙය මත්ද්‍රව්‍ය ජාවාරම හා සම්බන්ධ විමර්ශනයක් බවත් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ විමර්ශනවලදී ඇසින් දුටු සාක්ෂිකරුවන් ඉදිරිපත් නොවන බවත් කියා සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ඇය රිමාන්ඩ් භාරයේ පසු වන්නේ මාසයක් සහ දින විස්සක පමණ කාලයක් පමණක් බවත් සඳහන් කළා.
මෙම සැකකාරිය ඇප මත මුදා හරිනු ලැබුවොත් ඇය ආපසු අධිකරණයට ගෙන්වා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වනු ඇතැයි අනතුරු අඟවා සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය ඒ අනුව ඇයගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලීම් කළා.
ඒ අනුව මෙම ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 31 වනදා ප්‍රකාශයට පත් කළ බවත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
ඊට අමතරව අද දින මෙම විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා සිටි නියෝග කිහිපයක් ද මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කළා.




