මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කර තිබූ බැකෝ සමන් නැමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානි නමැත්තිය තව දුරටත් ලබන 25 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

මීළඟ නඩු දිනයේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂවරයාට පෞද්ගලිකව අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවටත් අධිකරණය විසින් නියම කළා.

මෙම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකාරිය දැඩි ආරක්ෂක විධි විධාන මැද අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
එහිදී විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් " ස්වාමීනී මෙම සැකකාරියගේ බැංකු ගිණුම් පිළිබඳව විමර්ශනය කළා. එහිදී ඇයට අයත් විදේශීය බැංකු ගිණුම් හතරක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබෙනවා. එම බැංකු ගිණුම් පිළිබඳව  ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි අංශයෙන් වාර්තා ඉල්ලා තිබෙනවා. එම වාර්තා මෙතෙක් ලැබී නැහැ. ඊට අමතරව මෙම සැකකාරියට භාරයේ තිබී සොයා ගන්නා ලද රන් ආලේපිත භාණ්ඩ  පරීක්ෂා කිරීම සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත යොමු කළා. එම වාර්තාව මෙතෙක් ලැබී නැහැ. ඊට අමතරව මෙම සැකකාරියට  මත්ද්‍රව්‍ය චෝදනා තිබේදැයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයෙන් කරුණු විමසුවා. ඒ පිළිබඳ විමර්ශන සිදුකරන බව එම කාර්යාංශය දැනුම් දුන්නා. ඊට අමතරව මෙම සැකකාරිය පිළිබඳව නීතිපතිවරයාගෙන්ද කරුණු විමසීමක් සිදු කළා.  එහිදී මෙම සැකකාරියගේ සැමියාට කොළඹ මහාධිකරණයේ මත්ද්‍රව්‍ය නඩුවක් පවතින බවට දැනුම් දී තිබෙනවා. 2022 වසරේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය කිලෝ තිස් අටක් සොයා ගැනීමේ සිද්ධියට අදාළ විමර්ශන ආරම්භ කිරීමෙන් පසුව මෙම සැකකාරිය සහ ඇයගේ සැමියා පදිංචිව සිටි ප්‍රදේශයෙන් පලා ගොස් සැඟවී සිටියා. ඔවුන් නිවාස කීපයක් මාරුවෙන් මාරුවට පදිංචිව සිටියා. ඉන් පසුව තමයි විදේශගත වී තිබෙන්නේ. විදේශගත වීමට පෙර දරුවාගේ උප්පැන්න සහතිකය පවා ව්‍යාජ ලෙසයි සකස් කරගෙන තිබෙනවා. බන්ධනාගාරයේදී මෙම සැකකාරියගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත්තා. එම ප්‍රකාශයේදී අනාවරණය වූ කරුණු වලට අනුව ඔවුන් පදිංචිව සිටි  ප්‍රදේශවලට ගොස් විමර්ශන සිදුකිරීමට නියමිතව තිබෙනවා. මෙම අවස්ථාවේදී සැකකාරියට ඇප ලබා දුනහොත් සාක්ෂිකරුවන්ට බලපෑම් සිද්ධ වෙන්න පුළුවන්" යනුවෙන් සඳහන් කළ  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සැකකාරිය තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටියා.
මෙහිදී සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින්" ස්වාමීනි.... මහාධිකරණයේ මත්කුඩු නඩුවක් පවතිනවා. එම නඩුවේ මෙම තැනැත්තිය විත්තිකාරියක් නෙවෙයි. ඒ නඩුවට අදාළව මෙම අවස්ථාවේදී සැකකාරිය සම්බන්ධයෙන් කරුණු දක්වන්න බැහැ. අද දින ඇප ප්‍රතික්ෂේප කිරීමට තරම් කරුණු පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර නැහැ. ඇය දරුවා සමඟයි රිමාන්ඞ් භාරයේ සිටින්නේ. වරින් වර දරුවා අසනීප වීම නිසා ඇයට පොලීසියට ප්‍රකාශ ලබාදීම පවා ප්‍රමාද වෙලා තිබෙනවා." යනුවෙන් සඳහන් කළ නීතිඥවරයා සැකකාරිය ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටියා.
මෙහිදී  මහේස්ත්‍රාත්වරයා පොලිසිය වෙත ප්‍රශ්නයක් යොමු කරමින් " මෙම සැකකාරිය පිළිබඳව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විමර්ශනයක් කරනවාද? යනුවෙන් විමසුවා.
ඊට ප්‍රතිචාර දැක්වූ යේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්" අපි මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයෙන් ඒ ගැන විමසා තිබෙනවා. තවම දැනුම් දීමක් කර නැහැ" යනුවෙන් සඳහන් කළා.
එම අවස්ථාවේදී විවෘත අධිකරණය ඇමතූ මහේස්ත්‍රාත්වරයා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජනය කරමින් නිලධාරීන් පැමිණ සිටිනවාදැයි විමසීමක් කළා.
එම අවස්ථාවේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙනුවෙන් කිසිදු නිලධාරියෙක් අධිකරණයේ පෙනී සිටියේ නැහැ.
යළිත් ප්‍රශ්නයක් නැඟ මහේස්ත්‍රාත්වරයා
" මේ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබා ගත් බව සඳහන් කළා.  මෙම විමර්ශනය පිළිබඳ  ගොනුව අධීක්ෂණය කරන්නේ කවුද? යනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසුවා. 
ඊට පිළිතුරු දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්" ස්වාමීනී... නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් මහත්මිය මේ සම්බන්ධයෙන් කටයුතු කරනවා" යනුවෙන් පැවසුවා.
ඉන් අනතුරුව සිය නියෝගය ප්‍රකාශයට පත් කළ මහේස්ත්‍රාත්වරයා
" මෙම සැකකාරිය විෂවර්ග සහ අන්තරායකර ඖෂධ වර්ග පිළිබඳ පනතේ 54(අ) වගන්තිය යටතේ රඳවා තබා ගෙන පසුව අධිකරණයට ඉදිරිපත් කළා. අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ එම පනතට අමතරව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේත් කරුණු දක්වා තිබුණා. මෙම සැකකාරියට එරෙහිව තිබෙන සාක්ෂිවල සම්පින්ඩනක් අඩංගු වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මීට පෙර අවස්ථා දෙකකදී අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණා. එහෙත් එවැනි වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් ඉදිරිපත් කළේ නැහැ. විෂ වර්ග හා අන්තර්දායක ඖෂධ පනතේ 54(1) යටතේ ඇප ලබාදීමට මගේ අධිකරණයට බලයක් නැහැ. ඒ වගේම මුදාහැරීමටත් හැකියාවක් නෑ. ඒ නිසා මීළඟ නඩු දිනයේ මෙම සැකකාරිකයට එරෙහිව සිදු කර තිබෙන විමර්ශනවල සාක්ෂි සම්පින්ඩනයක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරනවා. එවැනි වාර්තාවක් ඉදිරිපත් නොවුනොත් සැකකාරිය මුදා හැරීම සම්බන්ධයෙන් කරුණු සලකා බැලීමට සිදුවෙනවා" යනුවෙන් සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා අනතුරුව සැකකාරිය ලබන 25 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම කළා.
ඊට අමතරව මීළඟ නඩු දිනයේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂවරයාට පෞද්ගලිකව අධිකරණය හමුවේ පෙනී සිට ලෙසත් මහේස්ත්‍රාත්වරයා විසින් නියම කරනු ලැබුවා.
එමෙන්ම අධිකරණයට සහාය වීම සඳහා මීළඟ දින රජයේ නීතිඥවරයෙකු අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවටත් මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කලා.