බීමතින් ලංගම බස් රථයක් ධාවනය කළ රියදුරෙකු කදපොළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, නුවරඑළිය සිට උඩුපුස්සැල්ලාව දක්වා ධාවනය කරන ලංගම බස් රථයක රියදුරෙකු බීමත්ව රිය ධාවනය කරවන බවට අදාල බස් රථයේ ගමන් ගත් මගියෙකු විසින් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලබා දුන් තොරතුරක් මත සිදු කළ පරික්ෂාවකදීයි.

එහිදී අදාල රියදුරා මත්පැන් පානය කර ඇති බවට තහවුරු විමත් සමග පොලිසිය විසින් එම රියදුරාව අත්අඩංගුවට ගෙන බස් රථය පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පොලිස් භාරයට ගත් බස් රථය නුවරඑළිය ලංගම ඩිපෝව වෙත භාරදී ඇති අතර සැකකාර රියදුරා පොලිස් ඇප මත මුදාහැර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

සැකකාර රියදුරාට එරෙහිව නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගන්නා බවද පොලිසිය පැවසුවා.

සැකකාර රියදුරා මීට පෙරද බීමත්ව රිය පැදවීමේ චෝදනාව යටතේ අධිකරණය හමුවේ වැරදිකරුවෙකු වී ඇති බවත් නුවරඑළිය ඩිපෝව මගින් ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළා.