පුද්ගලයින් 260 දෙනෙකුට මරු කැඳවූ ඉන්දීය ගුවන් අනතුර සම්බන්ධයෙන් මූලික විමර්ශන වාර්තා නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ගුවන් අනතුරට ප්‍රධාන හේතුව ගුවන් යානයේ එන්ජින් සඳහා ඉන්ධන සැපයුම අක්‍රියවීම බවයි මූලික විමර්ශන වාර්තාවලින් අනාවරණය වී ඇත්තේ.

ඉන්දීය ගුවන් යානා අනතුරු විමර්ශන කාර්යාංශයේ වාර්තාවට අනුව ගුවන් යානයේ ඉන්ධන පාලන ස්විච්චයේ සිදු වූ අනපේක්ෂිත චලනයකින් එන්ජින්වලට ඉන්ධන සැපයීම සිදු නොවීම එම අනතුරට හේතු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනතුරෙන් පැය 49ක පියාසැරි දත්ත සහ පැය දෙකක නියමු කුටියේ ශ්‍රව්‍ය ඇතුළුව ගුවන් යානයේ කළු පෙට්ටියේ පටිගත දත්ත අනුව එම තොරතුරු හෙළී වී තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ ගුවන් අනතුරට වගකිව යුත්තේ කවුරුන්ද යන්න මූලික විමර්ශනවලදී අනාවරණය වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතින අතර වසරක් ඇතුළත අවසන් වාර්තාව නිකුත් කිරීමට නියමිතයි.

අදාළ ගුවන් යානය ඉන්දියාවේ අහමදාබාද් නගරයේ සිට ලන්ඩන් බලා පියාසර කරමින් සිටියදී අනතුරට ලක් වුණා.

එහිදී පුද්ගලයන් 260 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර එක් ගුවන් මගියෙකු පමණක් දිවි බේරා ගත්තා.