ඓතිහාසික, මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මෙවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහර අද වීථි සංචාරය කෙරෙනවා. පස්වරු 06.51ට යෙදෙන සුබ මොහොතින් උතුරු දිශාමුඛව පෙරහර වීථි සංචාරය කිරීමට නියමිතයි. පෙරහර නැරඹීම සඳහා මේ වන විටත් විශාල පිරිසක් මහනුවර නගරයට පැමිණ සිටිනවා. අවසන් මහා රන්දෝලි පෙරහර පිළිබඳ තවත් තොරතුරු එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු කමල් සුරවීරගෙන්.

මේ අතර මහනුවර නගරය ආශ්‍රිතව අද දිනයේත් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බවයි පොලිසිය පැවසුවේ. ඒ අනුව කටුගස්තොට සිට මහනුවර නගරයට පැමිණෙන සියලුම වාහන මහයියාව හන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ පොලිසිය හන්දිය වෙත පැමිණ මහනුවර නගරය වෙත ගමන් කළ හැකියි. කටුගස්තොට දෙසින් පැමිණෙන සැහැල්ලු වාහන පමණක් මහයියාව, ඩී.එස් සේනානායක වීදීය ඔස්සේ පැමිණ ඒ.ඒ. ධර්මසේන මාවතෙන් හරවා තිලක් රත්නායක මාවත ඔස්සේ ගමන් කළ හැකි වනවා. කටුගස්තොට දෙසට පිටවන වාහන මහනුවර පොලිසිය අසලින් තිලක් රත්නායක මාවත ඔස්සේ කටුගස්තොට දෙසට ගමන් කළ හැකි බවයි පොලීසිය පැවසුවේ. එමෙන්ම තැන්නේකුඹුර හා අම්පිටිය දෙසින් පැමිණෙන වාහන සංඝරාජ මාවත ඔස්සේ වේල්ස් පාර්ක් හන්දියට පැමිණිය යුතුයි. එතැන් සිට එම වාහන ඇහැලේපොල කුමාරිහාමි මාවතෙන් දකුණට හැරී බෝගම්බර දුම්රියපොළ අසලින් ද කොළඹ දෙසට යාමට වම් පසට ද නගරයට යාමට දකුණු පසට ද ගමන් කළ හැකි වනවා. එමෙන්ම රජ පිහිල්ල මාවත හන්දියෙන් පල්ලිය පාර ඔස්සේ මහනුවර නගරයට ඇතුලු විය හැකි බවයි පොලිසිය පැවසුවේ. මේ අතර මහනුවර නගරයේ සිට අම්පිටිය තෙල්දෙණිය මාර්ගයේ ගමන් කරන වාහන ඔරලෝසු කණුව වට රවුමෙන් ටොරින්ටන් හන්දිය, පල්ලිය පාර ඔස්සේ වේල්ස් පාර්ක් හන්දිය හරහා සංඝරාජ මාවත ඔස්සේ ගමන් කළ යුතු වනවා. වාහන තදබදයක් ඇත්නම් බෝගම්බර වට රවුම, ඇහැලේපොල කුමාරිහාමි මාවත, රජපිහිල්ල මාවත, සංඝරාජ මාවත ඔස්සේ අම්පිටිය, තැන්නේකුඹුර දෙසට ගමන් කළ හැකියි. රථ වාහන සැලැස්ම සඳහා පල්ලිය පාර දෙපසට රථ වාහන ගමන් කිරීමට හැකිවන පරිදි බෙදා වෙන්කර තිබෙනවා. මහනුවරට කොළඹ දෙසින් ඇතුලුවන සහ නගරයෙන් කොළඹ දෙසට පිටවන වාහන සඳහා පරණ පේරාදෙණිය පාර හා විලියම් ගොපල්ලව මාවත භාවිත කළ හැකි බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විශ්ණු දේවාලයේ අවසන් රන්දෝලි පෙරහර අද පස්වරුවේ වීථි සංචාරය කෙරෙනවා. ඒ පිළිබඳ තවත් තොරතුරු එම දේවාල භූමියේ රැඳී සිටින නෙත් නිවුස් වාර්තාකරු ටී.කේ. මහින්දගෙන්.