සේවය නිමකර නිවස බලා පැමිණෙමින් සිටි සූරියකන්ද පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් සහායක නිලධාරියෙකුට කොලොන්න ප්‍රදේශයේදී රත්නපුර දිස්ත්‍රික් ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා ඇතුළු කණ්ඩායමක් පහරදී ඇතැයි එම පොලිස් නිලධාරියා චෝදනා කර තිබෙනවා.

ඊයේ රාත්‍රියේදී සිදුකළ එම පහරදීමෙන් තුවාල සිදුවූ බව පවසමින් එම පොලිස් නිලධාරියා මේ වන විට ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මන්ත්‍රීවරයා ද එම පොලිස් නිලධාරියා සම්බන්ධව කොලොන්න පොලීසියට පැමිණිලි කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

අදාල පොලිස් නිලධාරියා බීමත්ව මන්ත්‍රීවරයා ගමන් ගත් රථය අවහිර කර තර්ජනය කළ බව පවසමින් ශාන්ත පද්මකුමාර මන්ත්‍රීවරයා එම පැමිණිල්ල කර තිබෙනවා.

කෙසේවෙතත් අදාල සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ මඟ පෙන්වීම යටතේ පොලිස් කණ්ඩායම් දෙකක් ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කළේ.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා මෙලෙස අදහස් පළ කළා.

රෝහල් ගතව ප්‍රතිකාර ලබන පොලිස් සහායකවරයා ද සිද්ධිය සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්.

මේ අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන පොලිස් නිලධාරියා අදාල සිදුවීම සිදුවන අවස්ථාවේදී බීමතින් සිටියාද නැද්ද යන්න සොයා බැලීම සඳහා වෛද්‍ය පරික්ෂණයකට යොමු කිරීමට නියමිත බවයි පොලීසිය පැවසුවේ.

එමෙන්ම ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතාගෙන් ද සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ද නියමිතයි.

කිසිදු තරාතිරමක් නොබලා සිදුවීමට සම්බන්ධ දෙපාර්ශවය සම්බන්ධයෙන් මූලික පරික්ෂණ මේ වන විටත් ආරම්භ කර ඇති බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා සහ පොලිස් නිලධාරියා අතර ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා මාධ්‍යයට මෙලෙස අදහස් පළ කළා.