ක්රියාන්විත රාජකාරියේදී තම ජීවිතය මව්බිම වෙනුවෙන් පූජා කළ රණවිරුවන්ගේ සහ රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ දෙමාපියන් වෙත ලබා දෙන "මා පිය රැකවරණ දීමනාව" ලබා ගැනීම සඳහා ජීව දත්ත සහතිකය ලබා නොදුන් රණවිරු දෙමාපියන් කඩිනමින් ජීව දත්ත සහතිකය ලබා දීමට කටයුතු කරන ලෙස රණවිරු සේවා අධිකාරිය පවසනවා.
මේ සඳහා 32,867ක් වූ සුදුසුකම් ලත් ප්රතිලාභීන් අතරින් 17,000 ආසන්න ප්රතිලාභීන් පිරිසක් පමණක් නිසි පරිදි සහතිකය ලබා දී ඇති බවත් ඉතිරි ප්රතිලාභීන්ගේ ජීවත්වීම තහවුරු නොවීම හේතුවෙන් ඔවුන්ගේ මාසික දීමනා තාවකාලිකව අත්හිටුවීමට සිදු වන බවත් නිවේදනයක් නිකුත්කරමින් රණවිරු සේවා අධිකාරිය පවසන්නේ
දීමනාව ලබාගන්නා දෙමාපියන් ජීවතුන් අතර සිටින බව තහවුරු කිරීම සඳහා, වසරකට වරක් අදාළ ජීව දත්ත සහතිකය (Life Certificate) අනිවාර්යයෙන්ම රණවිරු සේවා අධිකාරිය වෙත ඉදිරිපත් කළ යුතු අතර, මෙම සහතිකය එම දෙමව්පියන් පදිංචි ග්රාම සේවා වසමේ ග්රාම සේවක නිලධාරියා විසින් සහතික කර පවතින වසරේ නොවැම්බර් මස පළවෙනි දින සිට එළඹෙන වසරේ පෙබරවාරි මස 28 දක්වා වූ මාස හතරක කාලසීමාව තුළ රණවිරු සේවා අධිකාරිය වෙත යොමු කළ යුතුය.
ශ්රී ලංකාවේ සාමය සහ භෞමික අඛණ්ඩතාව තහවුරු කිරීම උදෙසා ක්රියාන්විත රාජකාරියේදී තම ජීවිතය මව්බිම වෙනුවෙන් පූජා කළ රණවිරුවන්ගේ සහ රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ දෙමාපියන් වෙත "මා පිය රැකවරණ දීමනාව" යටතේ සුදුසුකම් ලත් දෙමාපියන්ට මාසිකව රු. 750.00ක මුදලක් ලබාදීම රණවිරු සේවා අධිකාරියේ මාපිය රැකවරණ අංශය විසින් සිදු කරනු ලබනවා.
තවද, දීමනාව අඛණ්ඩව ලබා ගැනීම සඳහා මෙම සහතිකය ඉදිරිපත් කිරීම නීතිමය වශයෙන් බැඳී සිටින කාරණයක් වන අතර, ප්රමාද වීමෙන් ලැබිය යුතු මුදල අහිමි වීමට ඉඩ ඇති බවයි රණවිරු සේවා අධිකාරිය සඳහන් කරන්නේ.



