අයිස් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා බවට සැකකෙරෙන රසායනික ද්‍රව්‍ය සොයාගත් මිද්දෙණිය ප්‍රදේශයේ ඉඩමේ තිබී ගිනි අවි, පතොරම් සහ පොලිසිය භාවිත කරන උපකරණ කිහිපයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සිදු කළ සෝදිසියකදීයි.
ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් අනාවරණ වූ තොරතුරු මත සොයා ගැණුනු අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය සඟවා තිබූ මිද්දෙණිය කන්තෝරුවත්ත ප්‍රදේශයේ ඉඩම පොලිස් විශේෂ කාර්ය බලකායේ තංගල්ල කඳවුරේ නිලධාරීන් විසින් ඊයේ දිනය පුරා පරික්ෂාවට ලක් කර තිබෙනවා.
එහිදී එම ඉඩමේ පිහිටි නිවසක සිටි සැකකරුවෙකු සහ ගිනි අවි ඇතුළු උපකරණ රැසක් සොයාගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.
මෙරට නිෂ්පාදිත ටී 56 පතරොම් යෙදිය හැකි ගිනි අවියක්, බෝර 12 වර්ගයේ අවියක ක්‍රියාකාරී කොටස සහ එහි බැරලයක්, බෝර 12 වර්ගයේ අවියක බැරල කොටසක්, ටී 56 අවියට යොදා ගන්නා අවි පටියක් එලෙස සොයා ගැණුනු අවි ආයුධ සහ උපකරණ අතරට අයත්.
පොලිස් ලාංඡනය සහිත ටී ෂර්ට් තුනක්, පොලිස් නිල ඇඳුම් මැසිමට ගන්නා නිල ඇඳුම් රෙද්දක, බැටන් පොළු දෙකක්, හම් ඉනපටි දෙකක්, කැලෑ ඉනපටි දෙකක් සහ බැටන් පොලු රඳවනයක්ද අදාළ ස්ථානයේ තිබී සොයාගෙන තිබෙනවා.
යතුරුපැදි අංක තහඩු යුගලයක් සහ මෝටර් රථයක අංක තහඩු යුගලයක්ද විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරු වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.
බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ සහ මිද්දෙණිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.


