මිද්දෙණිය ප්‍රදේශයේ ඉඩමෙන් සොයාගත් රසායනික ද්‍රව්‍ය සාම්පල 20න් 17කම අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා රසායනික ද්‍රව්‍ය අන්තර්ගත බවට අනාවරණය වී තිබෙනවා.

ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලය විසින් සිදු කළ පරික්‍ෂාවේදී මේ බව තහවුරු වී ඇති බවයි පොලීසිය පැවසුවේ.

ඒ පිළිබඳ වාර්තාවද මේ වන විට පොලීසිය වෙත භාර දී තිබෙනවා.

මිද්දෙණියේ ප්‍රදේශයේ ඉඩමක වල දමා තිබියදී අදාළ රසායන ද්‍රව්‍ය තොගය සොයාගැණුනේ ඉකුත් 05 වනදායි.

එහිදී රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක් පමණ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මගින් සිදු කළ මෙහෙයුම්වලදී සොයා ගෙන තිබුණා.

අදාළ රසායන ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකි වූයේ කෙහෙල්බද්දර පද්මේ සමග ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ බැකෝ සමන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවයි.

මිද්දෙණියේ රසායනික ද්‍රව්‍ය සොයා ගැනීමෙන් පසුව තංගල්ල, නෙටොල්පිටිය ප්‍රදේශයේ ඉඩමකින්ද අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා තවත් රසායන ද්‍රව්‍ය බවට සැකකෙරන ද්‍රව්‍ය තොගයක් සොයාගැණුනා.

පසුව කඳාන ප්‍රදේශයෙන්ද ඉකුත් දා ඊට සමාන රසායනික ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට පොලීසියට හැකි වුණා.