මේ වසරේ මේ දක්වා සිදු කළ වැටලීම්වලින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 17,648ක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී තිබෙනවා.
ඒ අතරට හෙරොයින්, අයිස්, හෂීස්, කොකේන් සහ ගංජා යන මත්ද්‍රව්‍ය අයත්.
මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 1,243ක්. අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1,845ක් ද මේ දක්වා අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙනවා.
අත්අඩංගුවට ගෙන ඇති ගංජා තොගය කිලෝ ග්‍රෑම් 14,000කට අධිකයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී, එෆ් යූ වුට්ලර් මහතා පැවසුවේ මෙලෙස අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍යවලට සම්බන්ධ පුද්ගලයින් අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මක බවයි.
තංගල්ල ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය පිරවූ ලොරි රථ දෙකක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්ද අංශ කිහිපයක් ඔස්සේ තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී සඳහන් කළේ.
මේ අතර කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේ දකුණේ සිදු වන මත්ද්‍රව්‍ය ජාලයට පොලිස් නිලධාරීන් සම්බන්ධ දැයි සැක පළ කරන බවයි.
ඊට පිළිතුරු ලබා දෙමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ සියලු පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.
මේ අතර, තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය සොයා ගත් නිවසේ අභිරහස් ලෙස මියගොස් සිටි පුද්ගලයින් බීර සහ හෙරොයින් අධික ලෙස ශරීර ගත වීමෙන් මියගොස් ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී ඇතැයි වාර්තා වනවා.
එහි දී අනාවරණය වී ඇති බවට වාර්තා වන්නේ එම පුද්ගලයින් බීර සහ හෙරොයින් අධික ලෙස ශරීර ගත වීමෙන් මියගොස් ඇති බවයි.
පෙරේදා පොලිසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ පරීක්ෂාවක දී තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ නිවසක තිබී අභිරහස් ලෙස මිය ගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ මල සිරුරු සොයා ගත්තා.
එමෙන්ම අදාළ නිවසේ සිටි තවත් පුද්ගලයෙකු ද හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් තංගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබුණා.
පසුව සිදුකළ විමර්ශන වල දී ලොරි රථ තුනක තිබී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත් අතර ඒවායේ වටිනාකම රුපියල් මිලියන දසදහසකට ආසන්න බව පොලිසිය පැවසුවා.




