දෙදින නිල සංචාරයක් ආරම්භ කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද ජපානයට පැමිණියේය. එම සංචාරය පිළිබඳව විශ්වාසය පළ කරමින් අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේ මෙම සංචාරය ඉන්දියාවේ ජාතික අවශ්‍යතා සහ ප්‍රමුඛතා තවදුරටත් ඉදිරියට ගෙන යනු ඇති බවයි. එමෙන්ම දෙරටේ සබඳතා ශක්තිමත් කිරීම මගින් කලාපීය සහ ගෝලීය සාමය සහ ආරක්ෂාව ඉදිරියට ගෙන යන බව ද ඔහු පැවසුවේය. 15 වන ඉන්දියා-ජපාන වාර්ෂික සමුළුවට සහභාගී වීම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මෙම ජපාන සංචාරයේ ප්‍රමුඛ අරමුණයි. එහිදී ඔහු ජපාන අග්‍රාමාත්‍ය ශිගේරු ඉෂීබා සමග ද්විපාර්ශවික සාකච්ඡා සඳහා ද එක්වනු ඇත. සිය ජපාන සංචාරය අවසන් කිරීමෙන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා චීනය බලා පිටත්ව යාමට නියමිතයි. එහිදී ඔහු ෂැංහයි සහයෝගීතා සමුළුවට සහභාගී වනු ඇත.