හක්ගල උද්භිද උද්‍යානය යළි අද සිට සංචාරකයන් සඳහා යළි විවෘත කර තිබෙනවා.

ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ කාර්යමණ්ඩලයේ කඩිනම් වැඩපිළිවෙල මත ජාතික ගොඩනැගිලි පර්යේෂණ මධ්‍යස්ථානය හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිර්දේශ හා උපදෙස්වලට අනුකූලව එම උද්‍යානය එලෙස විවෘත කර බවයි පරිසර අමාත්‍යාංශය පැවසුවේ.

උද්‍යානයේ භූමියේ අනතුරුදායක ලක්ෂණ මතු වූ ස්ථානවන පිවිසීමේ ගේට්ටුව අසල පොකුණු සහිත ප්‍රදේශය සහ එම ලක්ෂණ දක්නට ලැබුණු වනෝද්‍යානය දෙසට පිවිසීමට ඇති මාර්ග, අනතුරුදායක බව දක්වන පුවරු මගින් නරඹන්නන් හට පිවිසීම තාවකාලිකව වළක්වා තිබෙනවා.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය මත වසා දමා තිබූ හක්ගල උද්භිත උද්‍යානය කඩිනමින් විවෘත කර ගැනීමට අදාළ පියවර ගැනීම සඳහා පසුගිය 12 වනදා පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා හක්ගල උද්භිත උද්‍යානයේ නිරීක්ෂණයකට එක්වුණා.

එහිදී එම ප්‍රදේශයේ පැවති නාය යාම් තත්වය පිළිබඳ සලකා බලා භූ ස්ථාවර කිරීමට අදාළ කෙටි කාලීන සහ දිගුකාලීන පියවර ගනිමින් නැවත හක්ගල උද්භිත උද්‍යානය ආරම්භ කිරීම සඳහා අදාළ උපදෙස් සහ සැලසුම් උද්භිද උද්‍යානයේ නිළධාරීන් වෙත ලබාදී තිබෙනවා.

ඒ අනුව හක්ගල උද්භිද උද්‍යානය ඉතා කෙටි කාලයකින් යළිත් දෙස් විදෙස් සංචාරකයන් සඳහා විවෘත කිරීමට හැකි වූ බවයි පරිසර අමාත්‍යාංශය පැවසුවේ.