යාල ජාතික වනෝද්‍යානයේ දින හතරක් පුරා සිදුකළ මෙහෙයුමකදී අක්කර දහයක ගංජා හේන් සහ වියලි ගංජා කිලෝග්‍රෑම් පනහක් සොයාගෙන තිබෙනවා.

එම මෙහෙයුම බුත්තල, ගෝනගංආර පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එහිදී අක්කර දහයක පමණ විශාල භූමි ප්‍රදේශයක ඉතාමත්ම සරුවට වගා කර තිබූ ගංජා හේන් කිහිපයක් සොයාගෙන ඇති අතර එම ගංජා හේන්වල තිබූ ගංජා ගස් ගිනිතබා විනාශ කළ බවද පොලිසිය පැවසුවා.

ඊට අමතරව වියලි ගංජා කිලෝග්‍රෑම් පනහයි ග්‍රෑම් හයසියයක් සොයාගෙන තිබෙනවා.

පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණිමත් සමග එහි සිටි සැකකරුවන් පලා ගොස් ඇති බව නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.

පලාගිය සැකකරුන් පොලිස් අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

විදෙස් ගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන සිංහාර අමල් සාමින්ද සිල්වා නොහොත් කුඩු අංජුගේ රත්මලාන ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය බෙදාහරින පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් රත්මලාන දුම්රියපොළ පාර ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

සැකකරු සිය නිවස ආසන්නයේ ගසක් අසල සඟවා තිබූ හෙරොයින් ග්‍රෑම් 25ක් ද පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

මේ අතර කුෂ් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගනිමින් මෝටර් රථයකින් නුවරඑලියේ සංචාරයක් සදහා පැමිණි තරුණයෙක් දිඹුල පතන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කළුතර ප්‍රදේශයේ පදිංචි තරුණයින් සිව් දෙනෙකු ගමන්ගත් එම මෝටර් රථය හැටන් - නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කොටගල උමං මාර්ගය අසළදී පරීක්‍ෂා කළ බවයි පොලිසිය පැවසුවේ.

එහිදී එක් තරුණයෙක් සන්තකයේ තිබී කුෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 130ක් සොයා ගෙන තිබෙනවා.

සැකකාර තරුණයා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.