වත්මන් රජය පත් වෙන්න රාජ්‍ය සේවකයා සුවිශාල වැඩකොටසක් ඉටු කර සහාය දුන්නත් අද විදුලි සේවකයන් මහපාරේ බවත් තැපැල් ජන්දවලින් ඉහළ බහුතරයක් දුන් රාජ්‍ය සේවකයාට අද රැකියා රැක ගන්න මහ පාරට බැසීමට සිදුව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විදුලි බල මණ්ඩලයේ 23,000ක රැකියා අනාරක්ෂිත බවත් විදුලි බල මණ්ඩලයේ හිටපු වෘත්තීය සමිති නායකයා අද පළාත් පාලන ආයතනයක ලොක්කකු වී මේ සේවකයන්ට තර්ජනය කරමින් සිටින බවයි විපක්ෂ නායකවරයා සඳහන් කර සිටියා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ගමින් ගමට නගරයෙන් නගරයට ක්‍රියාත්මක විපක්ෂ නායක ජංගම සේවය යටතේ පණ්ඩිත රඹෑව ගමේ මැටි කර්මාන්තය ආශ්‍රිත ගැටලු සොයා බැලීමට ගිය අවස්ථාවේ දීයි.

විදුලි බල ක්⁣ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගතකරණය සිදු ව නවීකරණය වුවත් සේවකයන්ගේ රැකියා සුරක්ෂිත විය යුතු බවත් නව ගමනක් යන විට වෙනස් වීම් සිදුවන විට මේ සේවකයන්ගේ රැකියා සුරක්ෂිතභාවය තහවුරු විය යුතු බවත් මේ අය මහපාරට දමා ප්‍රශ්න විසඳිය නොහැකි බවත් විපක්ෂ නායකවරයා පවසා සිටියේ.

ආණ්ඩු කළ යුත්තේ බලහත්කාරයෙන් නොව සංවේදීව බවත් ජනතාව ගැන සිතිය යුතු බවත් අසරණ අවදානමට ලක්වන ජනතාව වෙනුවෙන් පෙනී සිටිය යුතු බවත් ශක්තිය රැකවරණය ආරක්ෂාව දිය යුතු වුවත් ආණ්ඩුව රැකගන්න මරන්නයි මැරෙන්නයි සුදානම් බව ආණ්ඩුවේ අය කියන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසුවේ.

බලයක් ඇති ආණ්ඩුවක් පත්ව ඇති මොහොතක ජනතාවගේ ගැටලුවලට උත්තර දෙන්න විසදුම් දෙන්න බලයක් නැති විපක්ෂ නායකවරයා ගම්වලට එන්නේ ඇයිද කියා ජනතාවට ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායක ජංගම සේවාව ක්‍රියාත්මක වන්නේ බලය ඇති රජයෙන් ජනතා ගැටලුවලට උත්තර නැති නිසා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර සිටියේ.

රජය මේවාට උත්තර විසදුම් නොදෙන්නේ උනන්දුවක් නැති නිසා ද නැත්නම් බලය ගන්න විතරක් ජනතාව අවශ්‍ය වූ නිසාද කියා ගැටලුවක් ඇති බවත් රජය කුමක් කළත් විපක්ෂ නායක ජංගම සේවාව යනු කතාව මෙන්ම ක්‍රියාවෙන්ද සේවා ඉටු කරන ප්‍රායෝගික වැඩපිළිවෙළක් බවත් මේ ගැටලුවලට විසදුම් ලබා දෙන්න කළ හැකි උපරිම සටන සිදු කර යුතුකම් හා වගකීම ඉටු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මැටි කර්මාන්තයට අදාළ ගැටලු අටක් ඇති බවත් වැව්වල වතුර නැති කාලයට වැඩි මැටි ප්‍රමාණයක් ගැනීමට අවසරයත් මේ සදහා අවශ්‍ය දර ගැනීමට වන සංරක්ෂණ හා රාජ්‍ය ආයතන හරහා ලැබිය යුතු මැදිහත්වීමත් යාන්ත්‍රික පෝරණු ගැටලුව, වැහි කාලයට ආවරණයක් ලබා ගැනීම, මැටි අබරණ යන්ත්‍රයක අවශ්‍යතාව සහ පොදු ගොඩනැගිල්ල තනා ගැනීම, විදුලි උදුනක් ලබා ගැනීමත්, මැටි අබරණ යන්ත්‍රයට සුර්ය බලශක්තිය ලබා දීම සහ නිෂ්පාදන වෙළෙදපොළක් ලබා දීම යන ගැටලු ඇති නිසා සුර්ය බලශක්ති ගැටලුවත් වෙළෙඳපොළ ගැටලුවත් නිරාකරණය කර ගැනීමට තමා සහාය දෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පවසා සිටියේ