ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ඊයේ රාත්‍රියේ සිදු වූ බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූවන්ට වන්දි ලබා දීමට ජනාධිපති අරමුදල තීරණය කර තිබෙනවා. ඒ අනුව ජීවිතක්ෂයට පත්වූ එක් අයෙක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් ලබා දීමටයි තීරණය කර ඇත්තේ. ඇල්ල පොලිස් වසමේ ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ තංගල්ල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් පැමිණි පිරිසක් රැගත් බස් රථයක් එම මාර්ගයේ 24 වන කිලෝමීටර් කණුව ආසන්නයේ ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් මේ වනවිට මියගොස් ඇති සංඛ්‍යාව 15 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. මියගිය අය අතරට පිරිමි පුද්ගලයින් 6ක් සහ කාන්තාවන් 9ක් ඇතුළත්. බදුල්ල ශික්ෂණ රෝහල සඳහන් කළේ මියගිය පිරිස අතර කුඩා දරුවන් දෙදෙනෙකු සහ බස් රථෙය් රියදුරු ද සිටින බවයි. මෘතශරීර තැන්පත් කර ඇත්තේ දියතලාව, බදුල්ල සහ බණ්ඩාරවෙල රෝහල්වලයි. තුවාල ලැබූවන් තවදුරටත් රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබනවා. ඔවුන් සියලුදෙනා තංගල්ල සහ ඒ අවට ප්‍රදේශවල පදිංචිකරුවන්. ඔවුන් තංගල්ල නගර සභා සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ද වනවා. පිරිමි පුද්ගලයින් 6ක්, කාන්තාවන් 5ක්, පිරිමි දරුවන් 3ක් සහ දැරියන් දෙදෙනෙකු ඇතුළු 18 දෙනෙකු බදුල්ල ශික්ෂණ රෝහල, බණ්ඩාරවෙල සහ දියතලාව යන රෝහල්වල තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඔවුන්ගේ තත්ත්වය සම්බන්ධයෙන් සොයාබැලීමට ගිය බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.

මෙම අනතුර සිදුවී තිබුණේ ඇල්ල වැල්ලවාය මාර්ගයේ 23 සහ 24 කිලෝමීටර් කණුව අසල ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී 9ට පමණයි. රියදුරු සහ රිය සහායක සමග ඒ වන විට බස් රථයේ 34 දෙනෙකු ගමන් කරමින් සිටියා. අනතුර සිදු වූයේ අදාළ බස් රථය ඉදිරියෙන් පැමිණි සුඛෝපභෝගී මෝටර් රථයකද ගැටී මාර්ගයේ ආරක්ෂිත යකඩ වැටේද ගැටී අඩි 1000ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන්. අනතුර සිදුවූ අවස්ථාවේ බස් රථයේ සිටි අයෙකු සිය අත්දැකීම් පිළිබඳ මෙලෙස විස්තර කළා. අනතුරින් පසුව ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන්, ආරක්ෂක අංශ මෙන්ම මුදාගැනීමේ කණ්ඩායම් තුවාලකරුවන් රෝහල්ගත කිරීමට ඉතා කඩිනමින් පියවර ගෙන තිබුණා. වහාම එම ස්ථානයට ගිය වෛද්‍ය කණ්ඩායමක් එම ස්ථානයේදී තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීම ආරම්භ කළා. මේ එම අවස්ථාවට එක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය පාලිත රාජපක්‍ෂ මහතා. බස් රථයේ පිරිස මුදාගැනීම සඳහා සහාය වූ දෙදෙනෙකුද මෙහිදී තුවාල ලබා තිබුණා. මෙම මුදාගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක වූ ආකාරය සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා මෙලෙස අදහස් පළ කළා. පොලීසිය සඳහන් කළේ බස් රථයේ අධික වේගය හේතුවෙන් එය පාලනය කරගැනීමට නොහැකිව මෙම අනතුර සිදුවී ඇති බවට සිදුකළ මූලික විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇති බවයි. කෙසේවෙතත් සිද්ධිය ඇසින් දුටුවන් මාධ්‍ය වෙත පළ කළේ මෙවන් අදහසක්. මෙම බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත්වූ පිරිස අතරට තංගල්ල නගර සභාවේ ලේකම් ටී.ඩබ්ලිව්.කේ. රූපසේන මහතා සහ එම නගර සභාවේ සේවකයින් 12 දෙනෙකු ද අයත්. මේ අතර මෙම බස් රථ අනතුර සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පැවසුවේ අනතුර සිදුවූ ස්ථානයට බදුල්ල දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක ඇතුළු දෙදෙනෙකු පරීක්ෂණ සඳහා පිටත් කර යැවූ බවයි.