සීතාවක ප්රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උපසභාපතිවරයා තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මිය වෙත නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ, එම ප්රාදේශීය සභාව නියෝජනය කරන විපක්ෂයේ සභිකයින් පිරිසක් විසින්. එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මිය ඇතුළු පිරිසක් නම් කර සිටිනවා.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ සීතාවක ප්රාදේශීය සභාවේ බහුතර බලය විපක්ෂය සතුවන බවයි.
එසේ තිබියදී අදාළ ප්රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උපසභාපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා ඉකුත් 17 වනදා බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මියගේ ප්රධානයත්වයෙන් රැස්වීමක් පැවැති බවත් පෙත්සම්කරුවන් පවසනවා.
එහිදී අදාල තෝරා ගැනීම් සිදු කිරීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය තීරණය කළ අතර ඊට විරෝධය පළ කරමින් මන්ත්රීවරු 24 දෙනෙකු සභාවෙන් පිටව ගිය බවයි පෙත්සමේ සඳහන් වන්නේ.
එහි ප්රතිඵලයක් ලෙස සභාවේ ගණ පූර්ණය නොමැති වීම හේතුවෙන් අදාල තෝරාපත් කර ගැනීම කල් දැමුණු බවත් එහි දක්වා තිබෙනවා.
ඒ අනුව අදාල තනතුරුවලට තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට ගෙන තිබෙන තීරණය නීතියට පටහැනි බවටත් එය ක්රියාත්මක කිරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසත් එම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.