ඉන්දියාව රුසියාවෙන් තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළි ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීම සීමා කරන බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තමන්ට පෞද්ගලිකව සහතික වී ඇති බවයි. ඉන්දියාව රුසියාවෙන් තෙල් ආනයනය කිරීම ක්‍රමයෙන් නවත්වනු ඇති බවත් මෙම වසර අවසන් වන විට එය තියුණු ලෙස අඩුවනු ඇති බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා. ඒ අනුව ඉන්දියාව රුසියාවෙන් මිලදී ගන්නා තෙල් ප්‍රමාණය මෙම වසර අවසන් වන විට සියයට 40කින් පමණ අඩුවනු ඇති බවයි අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ.
ඉන්දියාව රුසියාවෙන් තෙල් මිලදී ගැනීම යුක්‍රේන යුද්ධයට අධාර සැපයීමක් වන බැවින් එය නතර කරන ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් දිගින් දිගටම ඉන්දියාවට බලපෑම් කරමින් සිටිනවා. ඒ හේතුවෙන් ඉන්දියාවට සියයට 25ක අතිරේක තීරු බද්දක් පැනවීමට ද අමෙරිකානු ජනාධිපතිවරයා මීට පෙර පියවර ගත්තා. කෙසේවෙතත් රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීම අවම කරන්නේ ද යන්න සම්බන්ධයෙන් ඉන්දියාව මෙතෙක් නිල ප්‍රතිචාරයක් දක්වා නැහැ.