කොළඹ වරාය පරිශ්‍රය තුළ ආනයනික බහාලුුම් විශාල ප්‍රමාණයක් යළි ගොඩ ගැසීමට ආනයනික ලුණු තොග වැඩි වශයෙන් මෙරටට ලැබීම හේතු වී ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.

රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කළේ ආනයනික බහාලුම් ද වැඩි වශයෙන් පසුගිය සමයේ ලැබීම මෙම ගැටලුවට හේතු වූ බවයි.

කෙසේවෙතත් ඉදිරි දින කිහිපය තුළ මෙම ගැටලුව සමනය වන බවයි ඔහු පැවසුවේ.

රට තුළ ලුණු සම්බන්ධයෙන් ගැටලුවක් මතුව ඇති පසුබිමක රටට පැමිණෙන ලුණු තොග කඩිනමින් නිදහස් කිරීමට නොහැකි ඇයි?

කොළඹ වරාය පරිශ්‍රය තුළ ආනයනික බහාලුුම් විශාල ප්‍රමාණයක් යළි ගොඩ ගැසී ඇති බවත් වරායෙන් පිටත අංගන තුනේ ආනයනික බහාලුම් නිෂ්කාශනය කිරීමේ ප්‍රමාදයක් පැවතීම ඊට හේතු වී ඇති බවත් බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය චෝදනා කළා.

ආනයනික බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදයන් වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාද උපදෙස් ලබා දී තිබියදී රේගු නිලධාරීන් එම උපදෙස් අනුව කටයුතු කර නොමැති බවටයි ඔවුන් පැවසුවේ.