ශ්‍රී ලංකාවෙන් බැහැරව ණයවර ලිපි විවෘත කර මෙරටට ආනයනය කිරීම සම්බන්ධයෙන් රේගුව විසින් රඳවාගෙන සිටින වාහන, මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වාහන ආනයනකරුවන් පිරිසක් විසින් ගොනුකර තිබෙන රිට් පෙත්සම් ජනවාරි මස 14 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද නියම කළා.
ඒ, එම පෙත්සම් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේයි.
එහිදී පෙත්සම්කාර වාහන ආනයන සමාගමක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඉක්‍රම් මොහොමඩ් මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම පෙත්සම් විභාගයට ගැනීම සඳහා දින නියම කරන ලෙස ඉල්ලා සිටියා.
තවත් පෙත්සම්කාර සමාගම් කීපයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයින් ණයවර ලිපි විවෘත කර වාහන මෙරටට ආනයනය කර තිබෙන ආකාරය සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල බව පෙන්වා දුන්නා.
මෙම ණයවර ලිපි විවෘත කර වාහන ගෙන්වීමේ ක්‍රියාවලිය හරහා වාහන ආනයනය කිරීමට අදාළව නිකුත් කර තිබෙන ගැසට් නිවේදන දෙකක් කිසිසේත්ම උල්ලංඝනය කර නොමැති බවයි ජනාධිපති නීතිඥවරයා එහිදී කියා සිටියේ.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම කරුණට අදාළව ඉකුත් ඔක්තෝබර් මස 24 වනදා නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙන බවත් පෙන්වා දුන්නා.
කෙසේවෙතත් දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම්වලට අදාළ විරෝධතා දෙසැම්බර් මස 03 වනදාට පෙර ගොනුකරන ලෙස වග උත්තරකාර ශ්‍රී ලංකා රේගුව ඇතුළු පාර්ශ්වවලට නියම කළා.
ඊට අදාළ ප්‍රතිවිරෝධතා තිබේනම් ඒවා දෙසැම්බර් මස 15 වනදාට පෙර ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් අධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශවයට නියෝග කළා.
ඉන් අනතුරුව මෙම පෙත්සම්, විභාගය සඳහා ජනවාරි මස 14 වනදා කැඳවන ලෙසයි විනිසුරු මඩුල්ල විසින් නියෝග කළේ.




