ඉකුත් මහ මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කළුතර දිස්ත්‍රික්කයෙන් තේරී පත් වූ හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ මන්ත්‍රී ධූරය බල රහිත බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා.

එම දිස්ත්‍රික්කය සඳහා අදාළ පක්ෂයෙන් තරඟ වැදුණු හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

අදාල පෙත්සම පිළිබඳ මූලික කරුණු සලකා බැලීමකින් අනතුරුව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, මහින්ද සමය වර්ධන සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළා.

පෙත්සම සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් මහ මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයේ සඳහා තරග වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයින් ලබාගත් මනාප ඡන්ද ගණනය කිරීමේදී අක්‍රමිකතා සිදුවී ඇතැයි සඳහන් කළා.

මේ හේතුවෙන් සිය සේවා දායකයාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් තේරී පත්වීමට නොහැකි වූ බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කළා.

ඒ අනුව කළුතර දිස්ත්‍රික්කය සඳහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයින් ලබාගත් මනාප ඡන්ද යළි ගණනය කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

කෙසේ වෙතත් වග උත්තරකාර රෝහිත අබේගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ ඡන්ද ගණනය කිරීමේදී අවිධිමත් ක්‍රියා සිදුවී ඇති බවට පෙත්සන්කරු එල්ල කරන චෝදනා පදනම් විරහිත බව සඳහන් කළා.

අදාළ ඡන්ද ගණනය කිරීම නීත්‍යානුකූල ආකාරයෙන් සිදු වී ඇති බවත් තම සේවාදායකයා නීත්‍යානුකූල ආකාරයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වී ඇති නිසා එය අභියෝගයට ලක් කළ නොහැකි බවත් ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා තර්ක කර සිටියා.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය ද සඳහන් කළේ පෙත්සම ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි බවයි.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.