පාකිස්ථාන කණ්ඩායම සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරඟයෙන් ලකුණු හයක තියුණු පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ රාත්‍රියේ සිදු වුණා.

ඒ, රවල්පිණ්ඩිහි පැවති තරඟයේදීයි.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පකිස්ථානය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 299ක් රැස්කළා.

තරඟයේ 24 වන පන්දුවාරය වන විට පාකිස්ථාන ඉනිමේ කඩුලු 04ක් ලකුණු 95ක් තුළ දවාගනිමින් ශ්‍රී ලංකා පිළ ප්‍රබල ස්ථානයක පසුවුණා.

එහෙත් සල්මන් අගා සහ හුසේන් ටලාට් එක්ව පස්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 138ක සබඳතාවක් ගොඩනගමින් පාකිස්ථාන ලකුණු පුවරුව ශක්තිමත් ස්ථානයකට ගෙන ආවා.

සල්මන් අගා පන්දු 87කදී නොදැවී ලකුණු 105ක් රැස්කළ අතර හුසේන් ටලාට් ලකුණු 62ක් රැස්කළා. පන්දු යැවීමේදී වනිඳු හසරංග ලකුණු 54කට කඩුලු 03ක් බිඳහෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී රැස්කරගත හැකි වුණේ ලකුණු 293ක් පමණයි.

ශ්‍රී ලංකා ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 85ක්. එහෙත් ලකුණු 90ක් වන විට ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 03ක් දවාගනිමින් පාකිස්ථානය තරඟයට අවතීර්ණ වුණා.

තරඟයේ අග භාගයේ ශ්‍රී ලංකා පිළට ජයග්‍රාහී බලාපොරොත්තු එක්කරමින් වනිඳු හසරංග ලකුණු 59ක් රැස්කළ ද එය ජයග්‍රහණයට ඉවහල් වූයේ නැහැ. හරිස් රවුෆ් කඩුලු හතරයි. දෙරට අතර මීළඟ තරඟය හෙට පැවැත්වෙනවා.