මේ වන විට ලෝකයම කතා කරන ප්‍රධාන මාතෘකාවක් වී ඇත්තේ අමෙරිකාව එල්ල කළ දැවැන්ත ප්‍රහාරයෙන් ඉරාන න්‍යෂ්ඨික වැඩසටහන විනාශ වූවාද? නැද්ද යන්න පිළිබඳවයි.

ඒ, ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල වූ අමෙරිකානු ප්‍රහාරවලින් ඉරාන න්‍යෂ්ටික වැඩසටහන විනාශ වී නැතැයි අමෙරිකාවේ පෙන්ටගනයේ ආරක්ෂක බුද්ධි ඒජන්සියේ රහසිගත බුද්ධි වාර්තාවක් හෙළිවීමත් සමගයි.

එම ප්‍රහාරවලින් සිදුව ඇත්තේ ඉරාන න්‍යෂ්ටික වැඩසටහන මාස ගණනකින් පසුබෑමට ලක් කිරීම පමණක් බවයි එහි දැක්වුණේ.

පළමුව ධවල මන්දිරය එය ප්‍රතික්ෂේප කළ අතර දැන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද ඊට ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඔහු පවසන්නේ ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන අමෙරිකානු හමුදා ප්‍රහාර මගින් “‍සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති”‍ බවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙම බුද්ධි වාර්තාව හෙළි කිරීම පිළිබඳ අමෙරිකානු මාධ්‍ය සහ ඔවුන්ගේ වාර්තාකරණයට බැණ වැද ීතිබීමද විශේෂත්වයක්.

“‍අසාර්ථක මාධ්‍ය සමඟ එක්ව, ඉතිහාසයේ වඩාත්ම සාර්ථක මිලිටරි ප්‍රහාරවලින් එකක් වන මෙම ප්‍රහාරය විනාශ කිරීමේ උත්සාහයක නිරත වී තිබෙනවා.

ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන සම්පූර්ණයෙන්ම විනාශ වී අවසන්. අමෙරිකානු මාධ්‍යයට මහජනතාව විසින් මඩ ගසනු ඇත”‍ ඒ, අමෙරිකානු ජනාධිපතිවරයා තැබූ සටහනයි.

මැදපෙරදිග අමෙරිකානු ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් පවසා ඇත්තේ ඉරානයට එල්ල කරන ලද අමෙරිකානු ප්‍රහාරය පිළිබඳ රහසින් බුද්ධි වාර්තාවක් පිටවීම “‍රාජද්‍රෝහී”‍ ක්‍රියාවක් බවයි. ”‍එය අතිශයෝක්තියට නැංවූ දෙයක් බවත් එය විමර්ශනය කළ යුතු බවත් ඔහු පවසා තිබෙනවා.

ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල වූ අමෙරිකානු ප්‍රහාරවලින් ඉරාන න්‍යෂ්ටික වැඩසටහන විනාශ කර නොමැති බවට හෙළි කළ බුද්ධි වාර්තාව ධවල මන්දිරයද ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඔවුන් පවසන්නේ බුද්ධි වාර්තාව ජනාධිපති ට්‍රම්ප් අවමානයට පත් කිරීමට ගත් පැහැදිලි උත්සහයක් බවයි.

අමෙරිකානු ප්‍රහාරවලින් සිදුව ඇත්තේ ඉරාන න්‍යෂ්ටික වැඩසටහන මාස ගණනකින් පසුබෑමට ලක් කිරීම පමණක් බව අමෙරිකාවේ පෙන්ටගනයේ ආරක්ෂක බුද්ධි ඒජන්සිය සකස් කළ බුද්ධි වාර්තාවේ සඳහන්ව තිබුණා.

ප්‍රහාරයේ මූලික හානි තක්සේරුව පිළිබඳ තොරතුරු ඇතුළත් මෙම වාර්තාව විදෙස් මාධ්‍ය විසින් අනාවරණ කිරීමත් සමගයි ඒ සම්බන්ධයෙන් මේ වන විට ලොව පුරා දැඩි කතාබහක් මතුවුණේ.

අමෙරිකාව විසින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනක් වන ෆෝඩෝ, නටාන්ස් සහ ඉස්ෆහාන් ඉලක්ක කර ඉකුත් සති අන්තයේ දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළා.

ඒ, භූගත අඩි 200ක් ගැඹුරේ ඇති කොන්ක්‍රීට් පවා විනිවිද යාමට හැකියාව ඇති “‍බන්කර් බස්ටර්”‍ බෝම්බ යොදා ගනිමින්. කෙසේවෙතත් බුද්ධි අංශ පවසා ඇත්තේ ඉරානය විසින් බලගැන්වූ යුරේනියම් තොගයෙන් කොටසක් ප්‍රහාරවලට පෙර ඉවත් කර ඇති බව මූලාශ්‍ර මගින් තහවුරු වන බවයි.