ලෝක පොල් දින සැමරුමට සමගාමීව උතුරේ පොල් ත්‍රිකෝණය දියත් කිරීමේ සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පුදුකුඩුඉරිප්පු නගරයේදී අද පෙරවරුවේ ආරම්භ වුණා.

“රටම සරු කරයි නිරතුරු - කප්තුරු සවිය” යන තේමාව ඔස්සේ එම වැඩසටහන ක්‍රියාවට නැංවෙනවා.

මෙම වසරේදී උතුරු පළාතේ අක්කර 16,000ක පොල් වගා කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ආරම්භ කෙරෙන අතර 2027 වසර වනවිට එම ප්‍රමාණය අක්කර 50,000ක් දක්වා ඉහළ නැංවීමට නියමිතයි.

එම උත්සවය ආරම්භ කරමින් පිළිගැනීමේ කතාව කළ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ද උත්සව සභාව ඇමතුවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උත්සව සභාව අමතමින් අදහස් දැක්වූයේ ඉන් අනතුරුවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා.

උතුරේ පළමු බීජ පොල් නිෂ්පාදන ඒකකය, පලෙයි නගරයේ ආරම්භ කිරීමද මීට සමගාමීව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන අතර පුදුකුඩුඉරිප්පු මධ්‍ය මහා විද්‍යාලය ඉදිරිපිට ඇති ප්‍රදේශයේ පොල් සංවර්ධන අධිකාරිය මගින් පවත්වන පොල් ආශ්‍රිත ප්‍රදර්ශනයද ජනාධිපතිවරයා අතින් විවෘත කිරීමට නියමිතයි.

මේ අතර මුලතිව් දිස්ත්‍රික්කයේ වට්ටුවාකල් පාලමේ ඉදිකිරීම් ආරම්භ කිරීමද අද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙනවා.

පරන්තන් - කරච්චි - මුලතිව් මාර්ගයේ නන්දිකඩාල් කලපුව ආශ්‍රිතව පිහිටා ඇති මෙම පාලම මතින් දිනකට වාහන 3,000කට වඩා ගමන් කරන අතර දීර්ඝ කාලයක් තිස්සේ පාලම අලුත්වැඩියා නොකිරීම හේතුවෙන් මේ වන විට දැඩි අනාරක්ෂිත තත්ත්වයක පවතිනවා.

ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ එය මංතීරු දෙකකින් යුත් නව පාලමක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙන අතර ඒ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් බිලියන 1. 4ක් වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.