ආහාර ආසාත්මික තත්ත්වයක් හේතුවෙන් වටරැක ප්‍රදේශයේ පාසලක සිසුන් 25 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

පෝෂණ වැඩසටහන යටතේ රජය විසින් නොමිලේ ලබාදෙන උදෑසන ආහාර වේල අනුභව කිරීමෙන් අනතුරුව එම පාසලේ සිසුන්ගෙන් පිරිසක් පමණක් එලෙස රෝගී වී ඇති බවයි වාර්තා වුණේ.

ඒ අනුව සිසුන් 25 දෙනෙකු හෝමාගම සහ පාදුක්ක රෝහල් වෙත ඇතුළත් කර තිබෙනවා.

ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.

ඒ අනුව පාදුක්ක රෝහලට ඇතුළත් කළ සිසුන්ගෙන් 21 දෙනෙකු වෛද්‍යවරුන් පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව එම අවස්ථාවේදීම රෝහලෙන් පිටත් කර තිබෙනවා.

පාදුක්ක රෝහලට සහ හෝමාගම රෝහලට ඇතුළත් කළ සෙසු සිසුන් සිව්දෙනා ද මේ වනවිට සුවය ලබා ඇති බවයි එම රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ.

අද උදෑසන සිසුන්ට ලබාදුන් ආහාර වේලේ තිබූ මාලු‍ අනුභව කිරීමෙන් සිසුන් පිරිසකට පමණක් එලෙස ආසාත්මික තත්ත්වයන් හටගන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.

සිද්ධිය වාර්තාවීමෙන් අනතුරුව විමර්ශන කිරීම සදහා පාසල වෙත පැමිණි මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් අදාළ ආහාර වේලේ සාම්පල ද ලබාගෙන තිබෙනවා.