තම සැමියාට පොරවකින් කොටා ඔහු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ බිරිඳක මේ මස 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කැබිති ගොල්ලෑව වැඩ බලන මහේස්ත්‍රාත් නිලූකා ප්‍රියදර්ශනී මහත්මිය නියෝග කර තිබෙනවා.
සැකකාරිය විසින් පොරවකින් කොටා ඝාතනය කළ බව කියන ඇගේ සැමියාගේ මෘත දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා ඊට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද වැඩ බලන මහේස්ත්‍රාත්වරිය අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයාට නියෝග කර තිබුණා.
තම සැමියා ඝාතනය කිරීමෙන් අනතුරුව සැකකාරිය භාරයේ සිටී ඇගේ දරුවන් තිදෙනා ඔවුන්ගේ මිත්තණියට භාරදීමටද නියෝග කෙරිණ.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේ කැබිතිගොල්ලෑව කුරුලුගම පදිංචි තිස්පස් හැවිරිදි තිදරු මවක වන ජී ගීතිකා සුදර්ශනී නමැති සැකකාරියයි.
ඇය විසින් පොරවකින් කෙටීම නිසා මියගොස් ඇත්තේ කැබිති ගොල්ලෑව කුරුලුගම පදිංචිව සිටි යූ උපාලි හේරත් නැමැති 46 හැවිරිදි තිදරු පියකි.
සැකකාර බිරිඳ අධිකරණයට ඉදිරිපත් කරමින් කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසියේ නඩු කටයුතු මෙහෙයුම් අංශයේ සැරයන් පැවසුවේ අඹුසැමියන් ලෙස ජීවත් වූ මරණකරු සහ සැකකාරිය අතර දීර්ඝ කාලයක සිට මත ගැටුම් සහ අඬදබර පැවති බවට මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වූ බවයි.
මරණකරු නිරන්තරව සිය බිරිඳ වන සැකකාරියට ඉතා අමානුෂික ලෙස පහර දී වද හිංසා පමුණුවා ඇති බව විමර්ශනවලදී හෙළි වූයේ යැයි ද කියා සිටි සැරයන්වරයා මෙම සිද්ධිය වූ දිනයේද මරණකරු සිය බිරිඳට අමානුෂික ලෙස පහර දී වද හිංසා පමුණුවා ගෙල මිරිකා ඇති බවද සඳහන් කර සිටියා.
සැමියා තමා මරා දමාවි යැයි බියෙන් ඉවසිය නොහැකි තැන සැකකාරිය ද අසල තිබුණු පොරවක් ගෙන තම සැමියා මිය යනතුරු පහරදී ඇති බව අධිකරණයට දැනුම් දුන් සැරයන් වරයා සැමියා මියගිය පසුව පසුදා පහන් වනතුරු සිය දරුවන් සමග නිවසේ සිට තිබෙනවා.
සැකකාරිය පසු දින උදෑසන කාලයේ කැබිති ගොල්ලෑව පොලිසියට පැමිණ පොරවකින් කොටා තමා තම සැමියා ඝාතනය කළේ යැයි පවසමින් පොලිසියට බාර වූ බවද සැරයන් වරයා පවසා සිටියා.
කෙසේ වෙතත් මෙම නඩුවේදී එකිනෙකා ඝාතනය කර ගැනීමේ චේතනාවක් නොතිබෙන්නට ඇති බවට සැක කරන්නේ යැයි ද ප්‍රකාශ කළ සැරයන් දිසානායක මහතා මෙය දෛවයේ සරදමක් මත සිදුව ඇති අතිශය ශෝචනීය ඛේදවාචකයක් බවද ප්‍රකාශ කළේය.
මෙම අපරාධය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන අවසන්ව නැති බවත් සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් සැරයන් වරයා අධිකරණයෙන් අයැද සිටියේය.
මෙම අපරාධය සිදුවූ ස්ථානයේ ස්ථානීය පරීක්ෂණය සිදු කළේ කැබිතිගොල්ලෑව වැඩ බලන මහේස්ත්‍රාත් රංග සුජීව මහතා විසිනි.


