වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයට එම්.එස්.එල්.ආර්.පී මාරසිංහ මහතා පත් කර තිබෙනවා.

ගරු පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි මහතා විසින් අදාල පත්වීම් ලිපිය පරිසර අමාත්‍යාංශයේදී භාර දී තිබෙනවා.

විද්‍යාත්මක සේවයේ සහකාර අධ්‍යක්ෂවරයකු වශයෙන් 1998 වර්ෂයේදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත වූ මාරසිංහ මහතා එහි නි‍යෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරු ගණනාවක්ද අධ්‍යක්ෂ මෙහෙයුම් තනතුර මෙන්ම අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මෙහෙයුම් තනතුරේද සේවය කර තිබෙනවා.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී කෘෂි විද්‍යා උපාධිධරයකු වන අතර එම විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණ පශ්චාත් උපාධිය ද ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වනවිද්‍යා හා පාරිසරික කළමනාකරණය පිළිබඳ විද්‍යාපති උපාධිය ද ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය මඟින් පිරිනමනු ලැබූ ඊ-රාජ්‍යය පාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සහ විවෘත විශ්ව විද්‍යාලයෙන් නීතිවේදී උපාධිය ද හිමිකර ගැනීමට සමත් වුනා.

එමෙන්ම ඉන්දීය වනජීවී ආයතනයෙන් වනජීවී කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ඇතුළුව වනජීවී ක්ෂේත්‍රය පිළිබඳව දෙස් විදෙස් පුහුණු රාශියක් ලබා ඇති මාරසිංහ මහතා වනජීවී ක්ෂේත්‍රය පිළිබඳව පුළුල් දැනුමක් සහ අත්දැකීම් බහුල අයෙක්.