ප්‍රතිපත්ති හා ක්‍රමවේදවල පවතින ගැටලු හේතුවෙන් දීර්ඝ කාලයක සිට රජයේ රෝහල් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලුවලට මෙතෙක් විසඳුම් ලැබී නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.

එවන් පසුබිමක් තුළ රෝහල්වල පවතින අඩුපාඩු සම්බන්ධයෙන් සිය සංගමය සමීක්‍ෂණයක් සිදු කර රෝහල් වර්ගීකරණයට පියවර ගන්නා බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ.

මේ අතර, දන්ත සේවා අංශය තුළ සිදු වන පරිපාලන බිඳවැටීමට විරෝධය පළ කරමින් රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය එක් දින සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය නඳුන් ධම්මික මහතා පැවසුවේ සිය ගැටලුවලට විසඳුම් නොලැබුණහොත් නොවැම්බර් 06 වනදා දිවයින පුරා එම එක්දින සංකේත වැඩ වර්ජනය සිදු කරන බවයි.