දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා එම තනතුරෙන් ඉවත් කිරීම සඳහා ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව ඇති බව වාර්තා වනවා. ඊට අදාල කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට පසුගියදා ඉදිරිපත් කර තිබුණේ ප්‍රවාහන මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින්. අකාර්යක්ෂම පරිපාලනය හේතුවෙන් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා එලෙස තනතුරෙන් ඉවත් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. පසුගිය සමයේ දුම්රිය ගමන් වාර රැසක් දෛනිකව ප්‍රමාද වීම සම්බන්ධයෙන් දුම්රිය බලධාරින්ට චෝදනා එල්ල වී තිබුණා. එම තත්ත්වයන් සැලකිල්ලට ගෙන මෙම ඉවත් කිරීම සිදුකර ඇති බවද වාර්තා වනවා. මේ අතර ධම්මික ජයසුන්දර මහතා අද පෙරවරුවේ ද සිය කාර්යාලයට පැමිණ සිටි බවයි වාර්තා වුණේ. මේ වන විට අදාල කැබිනට් තීරණය සම්බන්ධයෙන් ඔහු දැනුවත්ව නොසිටි බවද වාර්තා වුණා.