කූඨ ලෙස සකස් කළ ව්‍යාජ ඉන්දීය ගමන් බලපත්‍ර භාවිතා කරමින් අබුඩාබි නුවර ඔස්සේ ඉතාලිය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින්.

ඔවුන් අබුඩාබි නුවර බලා පිටත්ව යාමට නියමිත ඉටිහාඩ් ගුවන් සේවයේ ගුවන් යානයක් වෙත පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එසේ පැමිණි ඔවුන් ගුවන් මගීන් රැදී සිටින අංගනයේ රැදී සිටියදී, ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඔවුන්ගේ ගමන් මලු‍ පරීක්ෂා කිරීමේදී ඒ තුළ වූ කූඨ ලෙස සකස් කළ ඉන්දීය ගමන් බලපත්‍ර දෙක සහ ව්‍යාජ ඉතාලි වීසා බලපත්‍ර දෙක සොයා ගත් බවයි ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 21 හැවිරිදි සහ 28 හැවිරිදි යාපනය ප්‍රදේශයේ පදිංචි ද්‍රවිඩ ජාතික තරුණයන් දෙදෙනෙක්.