වාහන ආනයනය සම්බන්ධයෙන් රජයේ ඉදිරි ප්‍රතිපත්තිය පිළිබඳ පැහැදිලි කරගැනීම සඳහා වගකිව යුතු පාර්ශවවලින් සාකච්ඡාවක් ඉල්ලා ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ ලේකම් අරෝෂ රොද්‍රිගෝ මහතා පැවසුවේ මෙම වසරේ වාහන ආනයනය සඳහා වෙන් කර ඇති මුදල වන අමෙරිකානු ඩොලර් මිලියන 1,000ක මුදලෙන් ඩොලර් මිලියන 800ක් පමණ දැනටමත් වැය කර අවසන් බවයි.

වාහන ආනයනය නැවත වරක් අත්හිටුවීමකින් තොරව ඉදිරි මාසවලදී එය පවත්වා ගැනීම සම්බන්ධයෙන් රජය සමග සාකච්ඡා කිරීමට අපේත්‍ෂා කරන බවයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් අරෝෂ රොද්‍රිගෝ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර වාහන ආනයනය නතර කිරීමට රජය තීරණය කර ඇති බවට ඇතැම් මාධ්‍ය ඊයේ දිනයේ පළ කර තිබූ වාර්තා පදනම් විරහිත බවයි කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ.