අත්අඩංගුවට ගත් වැඩ තහනමට ලක් වූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය පවසනවා.
ඒ අනුව ඔහු අලුත්කඩේ, අංක 01 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් විසින් වැඩ තහනමට ලක් වූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ, වෙසක් පොහොය දා ජනපති පොදු සමාව යටතේ අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවෙකු නිදහස් කිරීමට අදාළ විමර්ශන මුල්කර ගනිමින්.
එම සිද්ධියට අදාළව මීට පෙර අත්අඩංගුවට ගත් අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සැකකරු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබාදුන් නියෝගයක් මතයි.
ඒ අනුව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ සැකකාර බන්ධනාගාර අධිකාරිවරයා හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.