වැඩ තහනමට ලක්කර සිටින සූරියකන්ද පොලිස් ස්ථානයට අනියුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයා සහ ඔහුගේ බිරිඳ විසින් පොලීසිය වෙත විවේචනාත්මක අදහස් පළ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

ඒ, අදාල පොලිස් කොස්තාපල්වරයාට පහරදී යතුරුපැදිය පැහැරගෙන ගිය පුද්ගලයින් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවත්, එම නිලධාරියා විසින් කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් පොලීසිය විසින් කිසිදු විමර්ශනයක් සිදුකර නොමැති බවත් සඳහන් කරමින්.

කේසේවෙතත් එම සිදුවීමට අදාලව මෙම පොලිස් කොස්තාපල්වරයා හා ඔහුගේ බිරිඳ විසින් කොලොන්න පොලිස් ස්ථානය වෙත සිදුකර ඇති පැමිණිලි සම්බන්ධයෙන් කොලොන්න පොලිස් ස්ථානය මගින් හා ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටින බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

කොලොන්න පොලිස් වසමේදී පසුගිය 20 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ එම පොලිස් කොස්තාපල්වරයා අතර ඇති වූ එම සිද්ධිය පිළිබඳව රාත්‍රී ජංගම සංචාර රාජකාරියේ යෙදී සිටි නිලධාරින් එම ස්ථානයට ගොස් අදාල සිදුවීම සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් ආරම්භ කළා.

එහිදී එම පොලිස් කොස්තාපල්වරයාගේ යතුරුපැදිය ද සිද්ධිය වූ ස්ථානයේ තිබී පොලිස් භාරයට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

එමෙන්ම එම නිලධාරියාගේ, ඔහුගේ බිරිඳගේ සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකුගේ ප්‍රකාශ පොලීසිය විසින් සටහන් කරගෙන තිබෙනවා.

ඊට අමතරව අදාල නිලධාරියාට ඇඹිලිපිටිය රෝහල් පොලීසිය මගින් අධිකරණ වෛද්‍ය පෝරමයක් ද නිකුත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

එමෙන්ම ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් සිදු කරගෙන යනු ලබන විමර්ශනවලට අදාලව පහරදීම සිදුකළ බවට පැවසෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, සිද්ධිය වූ බවට පැවසෙන ස්ථානය අසල පදිංචිකරුවන් තිදෙනෙකුගෙන්, නිලධාරියා රෝහලට රැගෙන ගිය පුද්ගලයා ඇතුලු පුද්ගලයන් දස දෙනෙකුගෙන් මේ වනවිටත් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

එමෙන්ම සිද්ධිය වූ බවට පැවසෙන ස්ථානය ආසන්නයේ නිවසක සවිකර තිබූ ආරක්ෂක කැමරාවල වීඩියෝ දර්ශන ලබාගැනීමට කටයුතු කර ඇති බවත් එම නිවැසියාගේ ප්‍රකාශයක් ද සටහන් කරගෙන ඇති බවත් පොලීසිය පැවසුවා.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 22 වනදා ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබෙනවා.

එමෙන්ම එම සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරගෙන යන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේ.