වැලිගම ප්‍රදේශයේ නිවසකින් පසුගියදා සොයාගැණුනු මත්ද්‍රව්‍ය විශේෂය ‘මෙෆඩෝන්’ නමැති රසායනික ද්‍රව්‍ය අඩංගු මත්ද්‍රව්‍ය වර්ගයක් බව පරික්‍ෂණවලදි අනාවරණ වී තිබෙනවා. දකුණු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා පැවසුවේ අදාළ ස්ථානයෙන් ලබා ගත් මත්ද්‍රව්‍ය සාම්පල සම්බන්ධයෙන් රජයේ රස පරික්‍ෂකවරයා විසින් සිදු කළ පරික්‍ෂණ මගින් එම තොරතුරු අනාවරණ වී ඇති බවයි. “මියෝව්” ලෙස හැඳින්වෙන මෙම මත්ද්‍රව්‍ය වර්ගය මෙරටින් සොයා ගත් පළමු අවස්ථාව මෙය වන බවයි පැවසෙන්නේ. අදාළ මත්ද්‍රව්‍ය වර්ගය මිනිස් සිරුරේ ස්නායු පද්ධතියට දැඩි ලෙස හානි කරන මත්ද්‍රව්‍ය විශේෂයක් බවද පැවසෙනවා. පසුගිය 21 වනදා වැලිගම පොලීසිය විසින් වැලිගම ප්‍රදේශයේ නිවසක් වැටලූ අවස්ථාවේදී එහි තිබී මෙම මත්ද්‍රව්‍ය සොයා ගැණුනා. කුලී පදනම මත ලබා ගත් අදාළ නිවසේ මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන ගොස් තිබූ අතර එහි සිටි මෝල්ඩෝවා ජාතිකයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. එම සැකකරු රුසියානු ජාතිකයෙකුගේ උපදෙස් ලබා ගනිමින් අදාළ ස්ථානයේ සිට එම මත්ද්‍රව්‍ය නිපදවා ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.