පවතින වැසි තත්ත්වය හෙට දිනයේදී තවදුරටත් වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කාලගුණ විද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේ ආසන්නව දිවයිනට ගිණිකොණ දෙසින් පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළ තවදුරටත් ක්‍රමයෙන් පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බැවින් ලබන 29, 30 යන දින දක්වා වැසි තත්ත්වය පැවතිය හැකි බවයි.

එම තත්ත්වය හේතුවෙන් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.