පවතින තත්ත්වයන් සියල්ල සැලකීමේදී වුවද සියයට 15කට වඩා අඩුවෙන් විදුලි බිල වැඩි කිරීමට තිබූ බව බලශක්ති විශ්ලේෂක ආචාර්ය විදුර රළපනාව මහතා පවසනවා.
නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ සියයට 08කට නොඅඩු ප්රතිශතයකින් විදුලි බිල වැඩි කිරීමට ඕනෑ තරම් හැකියාවක් තිබූ බවයි.
කෙසේවෙතත් මහජන උපයෝගිතා කොමිසමේ අධ්යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා පැවසුවේ විදුලි බිල, නිෂ්පාදන පිරිවැයට ගලපා සකස් කරමින් ඇති බවයි.
වැඩි වූ විදුලි බිල තවත් සැලකිය යුතු කාලයක් මෙලෙසම පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළා.
ඔහු කියා සිටියේ ගත වූ වසර 11ක කාලය තුළ විදුලි බිල වැඩි වී ඇත්තේ ඒකකයට රුපියල් 06යි 50ක් පමණකින් බවයි.
මහජන උපයෝගිතා කොමිසමේ අධ්යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා පැවසුවේ 2024 වසරේ ජනවාරි මාසය සාපේක්ෂව මේ වන විට විදුලි බිල සියයට 46කින් අඩු බවයි.
අද සිට ක්රියාත්මක වන පරිදි 2025 වසරේ දෙවන අර්ධය සඳහා විදුලි ගාස්තුව සමස්තයක් ලෙස සියයට 15කින් ඉහළ දැමීමට ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිසම ඊයේ තීරණය කළා.
ඒ අනුව කුඩා පරිභෝජන කාණ්ඩ වන ඒකක 90ට වඩා අඩු ආගමික ස්ථානවලට මෙවර විදුලි ගාස්තු සංශෝධනයෙන් කිසිදු වෙනසක් සිදු වන්නේ නැහැ.
කෙසේවෙතත් ඒකක 30ට වඩා අඩු ගෘහස්ත අංශයේ කාණ්ඩවලට සියයට 8ක වැඩිවීමක් සිදු වුණා.
ඒකක 30 – 60 කාණ්ඩය මෙතෙක් පැවති ඒකකය මිල රුපියල් 02කින් ඉහළ ගොස් ඇති අතර ඒකක 61 – 90 සමස්ත බිල්පත් වැඩිවීම රුපියල් 240කට සීමා වනවා.
ඒකක 91 – 120 දක්වා සමස්ත බිල්පත් වැඩිවීම රුපියල් 360ක් වන අතර ඒකක 121 – 180 සමස්ත බිල්පත් වැඩිවීම රුපියල් 840කට සීමා වන ඇති.
ඒකක 180ට වැඩි කාණ්ඩයක සමස්ත බිල්පත් වැඩිවීම රුපියල් 2,020කට සීමා වනවා.