ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයන්ට, ඔවුන්ගේ රියදුරු බලපත්‍රය සහ වීසා කාලය අනුව මෙරටට වලංගු වන රියැදුරු බලපත්‍රයක් විනාඩි 05ක් වැනි සුළු කාලයකින් ලබා ගැනීමේ පහසුකම සහිත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නව ශාඛා කාර්යාලක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ අද විවෘත කෙරුණා. ඒ, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ අනුව වසරකට වඩා වැඩි කාලයක් මෙරට රැඳී සිටින විදේශීය සංචාරකයන්ට, ඔවුන් සතුව බර වාහන සඳහාද රියදුරු බලපත්‍ර තිබේ නම් ඔවුන් සඳහාද, ත්‍රිරෝද රථ පැදවීම සඳහා ඉන්දියාව වැනි රටවල සිට මෙරටට පැමිණෙන සංචාරකයන් සඳහාද, ඔවුන්ට එම රටවල ඒ සඳහා ද රියැදුරු බලපත්‍ර තිබේ නම් ඔවුන් සඳහා ද මෙම ශාඛා කාර්යාලයෙන් අද සිට රියැදුරු බලපත්‍ර ලබා ගත හැකි වනවා. එමෙන්ම විද්‍යුත් තැපෑල මගින් මෙරටට පැමිණෙන සංචාරකයන්ට මෙම කාර්යාල වෙත තම අයදුම්පත් යොමු කළ හැකි බවත්, එමගින් මෙම බලපත්‍ර නිකුත් කිරීමේ කාලය තවදුරටත් අවම කර ගත හැකි බවත් අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසා තිබෙනවා. එමෙන්ම තව මාස කිහිපයකින් පොලීසියේ රථ වාහන අංශයේ නිලධාරීන් හට ස්මාර්ට් ජංගම දුරකථන ලබා දෙන බවත්, එහිදී මෙම කාර්යාල මගින් විදේශීය සංචාරකයන් සඳහා කිව්. ආර්. කේතයක් ලබා දීමට කටයුතු කරන බවත් අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසා තිබෙනවා. මෙම අවස්ථාවේදී ප්‍රථම රියදුරු බලපත්‍රය ඉන්දියානු ජාතිකයෙකුටත්, දෙවන බලපත්‍රය ඉතාලි ජාතිකයෙකුටත් අමාත්‍යවරයා විසින් ලබා දුන් බවයි නෙත් නිවුස් කටුනායක වාර්තාකරු පැවසුවේ.