Published
අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති මොහොමඩ් හිල්මි මහතා දෙසැම්බර් මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියම කළා.
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ අල්ලස් කොමිසමේ නිලධාරීන් කියා සිටියේ 2024 වසරේ ජනවාරි මස විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ට බාහිර ක්‍රියාකාරකම් පිළිබඳ පුහුණුවක් ලබාදීම සඳහා ආයතනයක් තෝරා ගැනීමට සියලු ප්‍රසම්පාදන කටයුතු සූදානම් කර තිබූ බවයි.
එසේ තිබියදී මෙම සැකකාර හිටපු සභාපතිවරයා අදාල ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (පරිපාලන) අමතමින් එම කාර්යය සඳහා jsf holding සමාගම තෝරා ගන්නා ලෙස බලපෑම් සිදුකර ඇති බවත් එම නිලධාරියා කියා සිටියා.
එම ප්‍රසම්පාදන කටයුතු ඉටුකිරීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය තුළ ප්‍රසම්පාදන අංශයක් තිබියදී එම කටයුතු මානව සම්පත් අංශය හරහා සිදු කරන ලෙස මෙම සැකකරු කාර්යාංශයේ නිලධාරීන්ට බලපෑම් සිදු කර ඇති බවත් ඔහු පැවසුවා.
එමෙන්ම අදාළ ටෙන්ඩරය සඳහා ලංසු බාර ගැනීමේ කාලය අවසන් වීමෙන් පසුව මෙම jsf සමාගම සිය ලංසුව ඉදිරිපත් කර ඇති අතර මේ හේතුවෙන් එය භාර ගැනීම ලංසු බාරගැනීමේ කමිටුවේ නිලධාරින් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
එසේ තිබියදී ප්‍රතික්ෂේප කරන ලද සමාගමේ අදාල ලංසුව යළි භාරගන්නා ලෙස මෙම සැකකරු විසින් අදාල කමිටුවේ නිලධාරීන්ට බලපෑම් සිදුකර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි ද කියා සිටියා.
මෙම සිද්ධියට අදාළව මෙම කාර්යාංශයේ නිලධාරීන්ගෙන් තවදුරටත් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව ඇති බැවින් මෙම අවස්ථාවේදී සැකකරු ඇපමත මුදා හරිනු ලැබුවොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි නිසා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් අල්ලස් කොමිසමේ නිලධාරියා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
මෙහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නලින්ද ඉන්දතිස්ස මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු විමර්ශන කටයුතුවලට පූර්ණ සහය ලබා දී ඇති බවත් ඔහු විමර්ශන කටයුතුවලට බාධා සිදුකළ බවට කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් වී නොමැති බවත් කියා සිටියා.
තම සේවා දායකයා ලංසු තෝරාගන්නා කමිටුවේ නිලධාරීන්ට බලපෑම් සිදුකර ඇති බවට අල්ලස් කොමිසම විසින් ප්‍රකාශ කළත් එවැනි බලපෑමක් එල්ල වූයේ නම් එම නිලධාරීන් විසින් අදාල ලේඛනවල ඒ පිළිබඳව සටහන් යොදනු ඇතැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එහෙත් එවැනි ක්‍රියාවක් සම්බන්ධයෙන් එම නිලධාරීන් විසින් කිසිදු සටහනක් යොදා නොමැති බවත් පැවසුවා.
එමෙන්ම මෙම සිද්ධිය හරහා සිය සේවා දායකයාට කිසිදු ආර්ථික ලාභයක් අත් වී නොමැති බවත් ඔහු පෙන්වා දුන්නා.
එමෙන්ම සැකකරු 2019 වසරේ සිට රෝගී තත්ත්වයක් සඳහා සිංගප්පූරුවෙන් ප්‍රතිකාර ලබා ගන්නා බවත් විදේශගතව සිටි අවස්ථාවල පවා විමර්ශන කටයුතුවලට ඔහු පූර්ණ සහය දක්වා තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.
එමෙන්ම ඔහු ව්‍යාපාරික කටයුතුවල නිරතව සිටින පුද්ගලයෙකු බවත් සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ඇප පනත යටතේ ඔහුට ඇප ප්‍රතික්ෂේප කිරීමට තරම් කරුණු ඉදිරිපත් වී නොමැති හෙයින් ඔහු ඇප මත මුදා හරින ලෙසත් ඉල්ලා සිටියා.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමේ නිලධාරියා වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම නඩුකරයේ පළමු සැකකරුට පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර තිබුණද මෙම සැකකරුට පොදු දේපල පනත යටතේ සිදු කළ වරදකට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් කරන්නේ ඇයිදැයි ප්‍රශ්න කළා.
ඊට පිළිතුරු දෙමින් අල්ලස් කොමිසමේ නිලධාරියා කියා සිටියේ මෙම සැකකරු අල්ලස් වශයෙන් යමක් ලබාගෙන තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී නොමැති බවයි.
ඒ අනුව පොදු දේපල පනත යටතේ වරදක් සිදු කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි මොහු සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරන බවත් එම නිලධාරියා කියා සිටියා.
දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා පැවසුවේ මෙම සැකකරුට පොදු දේපළ පනත යටතේ කරුණු ඉදිරිපත් කර තිබෙන හෙයින් ඔහුට ඇප නියම කිරීම සඳහා සුවිශේෂි කරුණු ඉදිරිපත් වීම අත්‍යවශ්‍ය බවයි.
එහෙත් සැකකරුගේ නීතිඥවරයා විසින් ඉදිරිපත් කළ සැකකරු විමර්ශන කටයුතු වලට සහාය වීම, සැකකරුගේ රෝගී තත්ත්වය සහ ඔහුගේ ව්‍යාපාරික කටයුතු යනාදිය සුවිශේෂී කරුණු සේ සැලකිය නොහැකි බවත් මහේස්ත්‍රාත්වරයා පැවසුවා.
ඒ අනුව මෙම අවස්ථාවේදී සැකකරුට ඇප නියම කිරීම සඳහා සුවිශේෂී කරුණු අනාවරණය නොවන හෙයින් ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන බවත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.




