දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලබාදිය යුතු වැට් බදු වාර්තා ඉදිරිපත් නොකිරීමේ චෝදනාවට වරද පිළිගත් අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාබුගල මහතාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 25000 දඩයක් නියම කළා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂධ මහාරච්චි මහතා අද මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

2019 වර්ෂයේ තුන්වන කාර්තුව සඳහා එකතුකළ අගය මත බදු (වැට්)වාර්තා විධිමත්ව ඉදිරිපත් නොකිරීමේ චෝදනාව යටතේ දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් විරංජිත් තාම්බුගල මහතාට එරෙහිව නඩුවක් ගොනු කර තිබුණා.

නඩුව කැඳවූ අවස්ථාවේදී විරංජිත් තාඹුගල මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට දැනුම් දුන්නේ තමා අදාළ චෝදනාවට වරද පිළිගන්නා බවයි.

තම සේවාදායකයා විදේශ රටවල්වලින් රුපියල් කෝටි ගණනක ආදායම් මෙරටට ගෙනැවිත් ඒවාට නිසි පරිදි බදු මුදල් ගෙවූ ව්‍යාපාරිකයෙකු බවත් එම නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියා.

කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා වරද පිළිගත් විත්තිකාර රංජිත් තාඹුගලට රුපියල් 25000ක දඩයක් නියම කළා.