මේ දිනවල පවතින වැසි තත්ත්වය තවත් දින කිහිපයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතා පැවසුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් ඇති බවයි.

කෙසේවෙතත් ලබන සතියේදී රටේ කාලගුණ තත්ත්වය යළි වෙනස්විය හැකි බවයි කසුන් පැස්කුවෙල් මහතා සඳහන් කළේ.

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 06ක පවුල් 2,052කට අයත් පුද්ගලයින් 8,346 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා.

සිදුව ඇති අර්ධ නිවාස හානි සංඛ්‍යාව 335ක්.

තද වැසි සමඟ දිවයිනේ ප්‍රධාන ජලාශ කිහිපයකම වාන්දොරටු තවදුරටත් විවෘත කර තිබෙනවා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජංගනය ජලාශය, අංගමුව ජලාශය සහ කලාවැව ද ඒ අතරට අයත්.

මීට අමතරව කුරුණෑගල දැදුරුඔය ජලාශය හා කුරුණෑගල කිඹුල්වානාඔය, මහනුවර පොල්ගොල්ල ජලාශයේ ද වාන්දොරටු විවෘත කර තිබෙනවා.

මොනරාගල අලිකොටආර ජලාශය සහ මාතලේ ඉබ්බන්කටුව ජලාශයේ ද වාන් දොරටු විවෘත කිරීමටයි සිදු වූයේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ මාඔය ධාරා ප්‍රදේශවලට ලැබුණු වැසි හේතුවෙන් අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන සහ දංකොටුව යන ප්‍රදේශවල පහත්බිම්වලට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් ඇති බවයි.

දැදුරු ඔයේ ජල මට්ටම ඉහළයෑම හේතුවෙන් වාරියපොළ, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත ඇතුළු ගංවතුර නිම්නයේ පහළ ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් නිකුත් කර තිබූ නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල සහ රත්නපුර එම දිස්ත්‍රික්ක වනවා.

එමෙන්ම නායයාම් පිළිබඳ විමසිලිමත් විය යුතු බවට දැනුම්දෙනු ලබන කහ පැහැති අනතුරු ඇඟවීමේ පළමු මට්ටමේ නිවේදනයක් ද දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නිකුත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

බදුල්ල, කොළඹ, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් මේ අතරට අයත්.