වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මදුරෝට එරෙහි පත්‍රිකා ගුවන් මගින් වෙනිසියුලාවේ අගනුවරට ඉහළින් හෙළීමට අමෙරිකාව සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ඒ, නිකොලස් මදුරෝ වෙත අමෙරිකාව එල්ල කරන පීඩනය දැඩි කිරීමේ අරමුණකින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඒ අනුව මදුරෝ අත්අඩංගුවට ගෙන වරදකරු කිරීමට හේතු වන තොරතුරු ලබාදීම වෙනුවෙන් වෙනිසියුලානු වැසියන්ට මුදල් ත්‍යාග පිරිනැමීම එහි අරමුණ විය හැකි බවද එම වාර්තාවල සඳහන්.

ඒ අනුව ඩොලර් මිලියන 50 ක ත්‍යාගයක් ලබාදීමටත්, ඒ පිළිබඳ විස්තර අඩංගු පත්‍රිකා ගුවන් යානා මගින් වෙනිසියුලාවේ අගනුවර වීථි පුරා විසුරුවා හැරීම අමෙරිකාවේ නවතම සැලැස්ම වී ඇති බවද අමෙරිකානු මාධ්‍ය වාර්තා අනාවරණ කළා.

කෙසේවෙතත් අමෙරිකානු ඉහළ බලධාරීන් එම සැලසුමට මෙතෙක් අවසර දී නොමැති බවයි වාර්තා වන්නේ.

වෙනිසියුලාවේ හිටපු නායක හියුගෝ චාවේස්ගේ අභාවයෙන් පසු නිකලස් මදුරෝ බලයට පත් වූයේ 2013 වසරේදීයි.

පසුගිය වසරේ පැවැති ජනාධිපතිවරණයෙන් ද ඔහු ජයග්‍රහණය කළේ විපක්ෂය දැඩි ලෙස මර්දනය කර තිබුණු මැතිවරණ ව්‍යාපාරයක් හමුවේ බවට චෝදනා එල්ල වුණා.

ජනාධිපතිවරණයෙන් මධුරෝ පරාජයට පත් වූ බව පවසමින් අමෙරිකාව ඇතුළු රටවල් 50 කට වැඩි ප්‍රමාණයක් මධුරෝ වෙනිසියුලාවේ රාජ්‍ය නායකයා ලෙස පිළිගැනීමද ප්‍රතික්ෂේප කර තිබෙනවා.

අමෙරිකාවට මත්ද්‍රව්‍ය ගලා ඒම සඳහා වෙනිසියුලාව දැඩි ලෙස හේතුවී ඇති බවටයි ට්‍රම්ප් පරිපාලනය චෝදනා කරන්නේ.

ඊට මදුරෝගේ පාලනය හේතුවක් වන බවටද අමෙරිකාව චෝදනා කරනවා.