කායික රෝග විශේෂඥ වෛද්‍යවරියක ලෙස නව පත්වීමක් ලද වෛද්‍යවරියකට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් තැපැල් මගින් එවූ අදාළ පත්වීම් ලිපිය සොරා ගත්තේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන බුද්ධිමය දේපළ පනත යටතේ අධිකරණය හමුවට ඉදිරිපත් කළ එම වෛද්‍යවරියගේ ඥාති සොහොයුරියක් ඇප මත මුදාහරින ලෙස කුරුණෑගල වැඩබලන මහේස්ත්‍රාත් තිලීසියන් පෙරේරා මහතා නියෝග කර තිබෙනවා.
රුපියල් ලක්ෂයක් වටිනා ශරීර ඇප දෙකක් මත සහ රුපියල් දස දහසක මුදල් ඇපයක් මත සැකකාරිය මුදාහරින ලෙසයි වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.
එලෙස ඇප මත මුදාහැර ඇත්තේ පැමිණිලිකාර කායික රෝග විශේෂඥ වෛද්‍යවරියගේ සැමියාගේ සහෝදරියක්.
සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරමින් කුරුණෑගල පොලිසිය සඳහන් කළේ සිය පත්වීම් ලිපිය අස්ථානගත වීම හේතුවෙන් තමාට කායික රෝග විශේෂඥ වෛද්‍ය නිලධාරි නව තනතුරේ වැඩ භාර ගැනීමට නොහැකිව සිටින බව පවසමින් වෛද්‍යවරියක වන එල්.ඒ.බී දහනායක මහත්මිය විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවයි.
අදාළ පත්වීම් ලිපිය සෞඛ්‍ය අමාත්‍යංශයෙන් තැපල් මගින් තමාට යොමු කර තිබූ බවත් එම පත්වීම් ලිපිය අස්ථාන ගත වී ඇති බවත් ඇය සිය පැමිණිල්ලේ සඳහන් කර තිබෙනවා.
එම පැමිණිල්ල සම්බන්ධයෙන් මූලික විමර්ශන මෙහෙයවා සැකකාරිය අත්අඩංගුවට ගත් බවයි පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ.
අදාළ පත්වීම් ලිපිය පැමිණිලිකාර වෛද්‍යවරියගේ නිවසට තැපල් මගින් ලැබෙන අවස්ථාවේ වෛද්‍යවරියගේ නිවසේ සිට ඇත්තේ මෙම සැකකාරිය බව පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියා.
ප්‍රශ්නගත පත්වීම් ලිපිය ලියුම් බෙදන්නාගෙන් භාරගෙන අස්ථානගත කරන්නට ඇත්තේ මෙම සැකකාරිය බවට සැක කරන බවත් ඒ සම්බන්ධයෙන් තවදුටරත් විමර්ශන සිදු කෙරෙන බැවින් සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.
සැකකාරිය වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වූ නීතීඥවරයා කියා සිටියේ පොලිසිය තම සේවාදායිකාව අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ බුද්ධිමය දේපළ පනත යටතේ බවත් එය මුළුමනින්ම නීතියට පටහැනි බවයි.
පැමිණිලිකාර වෛද්‍යවරියගේ පත්වීම් ලිපිය අස්ථාන ගතවී ඇත්නම් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නැවත පත්වීම් ලිපියක් ලබාගත හැකි බවද කියා සිටි නීිතිඥවරයා, ලියුම් බෙදන්නා බාරදුන් බව කියන පත්වීම් ලිපිය තම සේවාදායිකාව පැහැරගත් බවට එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවද කියා සිටියා.
ඒ අනුව තම සේවාදායිකාව ඕනෑම ඇප කොන්දේසියක් මත මුදාහරින ලෙසයි ඔහු අධිකණයෙන් ඉල්ලා සිටියේ.
දෙපාර්ශවයේ කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් කුරුණෑගල වැඩබලන මහේස්ත්‍රාත් තිලීසියන් පෙරේරා මහතා සැකකාරිය ඇප මත මුදාහරින ලෙස නියෝග කළා.




