ශරීරය තුළ තැන්පත් කර තිබූ උපත් පාලන ලූපයක් ඉවත් කර ගැනීමට සිය වෛද්‍ය මධ්‍යස්ථානයට පැමිණි විසිපස් හැවිරිදි එක්දරු තරුණ මවකගේ ලූපය ඉවත් කරන මුවාවෙන් ඇය දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිචෝදනා ලබා සිටි වෛද්‍යවරයෙකුට අනුරාධපුර මහාධිකරණය අද වසර පහළොවක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කළා. එම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අනුරාධපුර මහාධිකරණ විනිසුරු ආචාර්ය නලීන් ද හේවාවසම් මහතා විත්තිකාර වෛද්‍යවරයාට නියෝග කළේ අදාල කාන්තාවට මුදලින් රුපියල් ලක්ෂ පහළොවක මුදලක් වන්දි වශයෙන් ගෙවන ලෙසටයි. එම වන්දි මුදල ගෙවීම පැහැර හරින්නේ නම් විත්තිකාර වෛද්‍යවරයාට තවත් වසර තුනක සිර දඬුවමක් මහාධිකරණ විනිසුරුවරයා නියම කළා. ඊට අමතරව මුදලින් රුපියල් ලක්ෂයක දඩයක් ගෙවන ලෙසට ද විත්තිකාර වෛද්‍යවරයාට තවදුරටත් නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඩමුදල ගෙවීම විත්තිකරු පැහැර හරින්න්නේ නම් ඔහුට තවත් වසරක සිර දඬුවමක් ද නියම කළා. මෙම සිද්ධියට සම්බන්ධ වෛද්‍යවයාට දඬුවම් නියම කරමින් අනුරාධපුර මහාධිකරණ විනිසුරු ආචාර්ය නලීන් ද හේවාවසම් මහතා පැවසුවේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් නගා ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශවය සමත්ව ඇති බවයි. ඒ අනුව විත්තිකරුට එරෙහිව එල්ල කර තිබූ ස්ත්‍රි දූෂණ චෝදනාවට ඔහු වරදකරු බවට තීන්දු කරන බවද මහාධිකරණ විනිසුරුවරයා කියා සිටියා. විත්තිකාර වෛද්‍යවරයාට මෙලෙස දඬුවම් නියම කෙරුණේ මෙම අපරාධමය සිද්ධියට අදාළ නීති කෘත්‍ය අනුරාධපුර මහාධිකරණය හමුවේ අද යළි කැඳවූ අවස්ථාවේදීයි. මෙලෙස බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම වූයේ අනුරාධපුර තිසාවැව අංක 70 ලිපිනයේ පදිංචි 70 හැවිරිදි වෛද්‍යවරයෙකුටයි. ඔහු මීට පෙර අනුරාධපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැරුනා. විත්තිකරු අනුරාධපුර තිසාවැව ප්‍රදේශයේ පවත්වා ගෙන යන පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේදී මෙම වරද සිදුකර ඇති බවයි අධිකරණ නඩු විභාගයේදී අනාවණ වුණේ. 2020 වසරේ ජනවාරි මස 20 වන දින හෝ ඊට ආසන්න දිනයක අනුරාධපුර මහාධිකරණ බල ප්‍රදේශයට අයත් තිසාවැව පිහිටි සිය වෛද්‍ය මධ්‍යස්ථානයේදී මෙම වරද සිදු කර ඇති බවට නීතිපතිවරයා විසින් විත්තිකාර වෛද්‍යවරයාට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබුණා. මෙම නඩුවේ පැමිණිළිකාර 25 හැවිරිදි එක්දරු තරුණ මව තම ශරීරය තුළ තැන්පත් කර තිබූ උපත් පාලන ලූපය ඉවත් කර ගැනීමට විත්තිකාර වෛද්‍යවරයාගේ තිසාවැව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයට පැමිණ විත්තිකාර වෛද්‍යවයා හමු වූ අවස්ථාවේ ලූපය ඉවත් කිරීමට වැඩි වේලාවක් ගත වන නිසා මදක් රැදී සිටින ලෙස තරුණ මවට දන්වා ඇති බවත්, පසුව ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ සිටි සෙසු සිය`එ රෝගීන් පරික්ෂා කර ඔවුන්ට ප්‍රතිකාර ලබාදී පිටත් කර හැර ඇති බවත් අධිකරණ නඩු විභාගයේදී හෙළි වුණා. පසුව ලූපය ඉවත් කරන මුවාවෙන් 25 හැවිරිදි එක්දරු තරණ මව දූෂණය කර ඇති බවත් අධිකරණ නඩු විභාගයේදී අනාවණ වුණා. උතුරු මැද පළාතේ අධිකරණයකින් අපරාධමය වරදකට විත්තිකාර වෛද්‍යවරයෙකුට මෙවැනි බරපතල සිර දඬුවමක් නියම කළ ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව මෙය වන බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.
Published