අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කළේ කියන සිද්ධිය සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටීමට සූදානම් බව පසුගියදා අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහළ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේශී විජේරත්න මහත්මියගේ දියණිය වන හේමාලි විජේරත්න විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබෙනවා. සමාව ඉල්ලා සිටීමෙන් නොනැවතී එසේ සමාව ගත් බවට දැන්වීම් පළ කිරීමට සූදානම් බව එම සැකකාරිය විසින් සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට දැනුම් දුන් අතර තමන්ට එරෙහිව පවතින විමර්ශනය සමථයට පත් කොට සිය අනාගතය සකස් කර ගැනීමට ඉඩ දෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියා. අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටින සැකකාර හේමාලී විජේරත්න තමන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා මාර්ගයෙන් මෙම කරුණු අධිකරණයට ඉදිරිපත් කළා. සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටීමට තම සේවා දායිකාව සූදානම් වුවද ඇයට අදාළ චෝදනාවලට වරද පිළිගැනීමට හැකියාවක් නොමැති බවත් දන්වා සිටියා. අදාල නඩුකරය මෝසමක් මාර්ගයෙන් කැඳවූ අවස්ථාවේදී කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා සිය සේවාදායිකාව වැඩිදුර අධ්‍යාපනය සඳහා බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාලයකට යාමට නියමිතව ඇති බවත් ඊට පෙර මෙම සිද්ධිය සමථයට පත්කර ගැනීමට අවස්ථාව ඉල්ලා සිටින බවත් සඳහන් කළා. මෙම සැකකාරිය 21 වන වියේ පසුවන අතර ඇය ලබන 13 වනදා බ්‍රිතාන්‍ය බලා යාමට නියමිතව තිබෙන බවත් එසේ නොගියහොත් ඇයගේ අනාගතය අඳුරු විය හැකි බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියා. මෙම නඩුව ලබන 27 වනදා කැදවීමට නියමිතව තිබෙන අතර 13 වනදාට පෙර අල්ලස් කොමිසමේ ස්ථාවරය අධිකරණයට දැනුම් දීම වැදගත් බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා. අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකාරියට චෝදනා ගොනු කරනවාද? එසේත් නැත්නම් පරීක්ෂණය සමථයට පත් කරනවාද? යන කාරණය පිළිබඳව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් වරයා ගෙන් උපදෙස් ලබාගෙන ඉදිරි දිනයක අධිකරණයට කරුණු දක්වන බව සඳහන් කළා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකාරියට එරෙහිව චෝදනා පත්‍රය ගොනු කරනවාද? නැත්නම් සැකකාර පාර්ශවය ඉල්ලා සිටින කොන්දේසි මත නඩුව සමථයකට පත් කරනවාද ? යන ස්ථාවරය ලබන 07 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අල්ලස් කොමිසමට නියම කළා.