සෞඛ්‍ය අමාත්‍යංශයේ පරිපාලන වෛද්‍යවරුන් ලබාදුන් එකඟතාවයන් තහවුරු කර ලිඛිතව ලැබෙන තුරු සිය වැඩ වර්ජනය ආරම්භ කිරිම අද දහවල් 12.00 දක්වා තාවකාලිකව දීර්ඝ කිරීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඒ අනුව අද උදෑසන 08.00 සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය දහවල් 12.00 දක්වා තාවකාලිකව අත්හිටුවීමටයි තීරණය කර ඇත්තේ.
රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පැවසුවේ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර ඊයේ රාත්‍රියේ පැවති විශේෂ සාකච්ඡාවේදී ඇති වූ එකඟතා මත මෙම තීරණය ගත් බවයි. සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පිළිගත් ක්‍රමවේදය උල්ලංඝනය කරමින් අත්තනෝමතික ලෙස ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරනු ලැබූ වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් අත්හිටුවීමටත්, ඒ වෙනුවට පිළිගත් ක්‍රමවේදය හරහා කාල රාමුවක් සහිතව වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීමටත් එකඟ වූ බව එම සංගමය පැවසුවා.
එමෙන්ම එම එකඟතාවයන් අද දින පැවැත්වෙන සෞඛ්‍ය අමාත්‍යංශයේ පරිපාලන වෛද්‍යවරුන්ගේ විශේෂ සාකච්ඡාවේදී තහවුරු කිරීමට ද එකඟ වූ බවත් එහි සඳහන්. එම එකඟතා ක්‍රියාත්මක නොවන්නේ නම් ඕනෑම මොහොතක නැවත වැඩ වර්ජනය ආරම්භ කිරීමට තීරණය කර තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පවසනවා.



