අල්ලස් කොමිසම මගින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මේ වන විට රිමාන්ඩ් භාරයට පත් කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඔක්තෝබර් මස 14 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළා.
සැකකරුට බන්ධනාගාර රෝහලේ දී සහ වෙනත් රෝහල් වලදී ලබා දුන් ප්‍රතිකාර පිළිබඳ පූර්ණ වාර්තාවක් මීළඟ දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරි වරයාට නියම කළා.
මීළග දින පරීක්ෂණ අවසන් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා මෙහිදී අල්ලස් කොමිසමට නියෝග කළා.
මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ ජෙනරාල් සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා රජයේ නිලධාරීන් කිහිප දෙනෙකු ලබන 03 වනදා කැදවා තිබෙන බව සඳහන් කළා.
මෙම සිද්ධියට අදාළව තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි සඳහන් කළ සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරිය ඒ අනුව සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඉල්ලා සිටියා.
එම ඉල්ලීමට විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා විරෝධය පළ කළා.
තවත් සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට තිබෙන බව සඳහන් කරමින් මෙම සැකකරු දිගින් දිගටම රිමාන්ඩ් භාරයේ තබා ගැනීම දඩුවමක් ලෙස හදුන්වා දිය හැකි බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කළා.
එම අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීනි ඇමතු මහේස්ත්‍රාත්වරයා " මෙම නඩුවේ තවත් සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට නියමිතව තිබෙනවා" දැයි විමසා සිටියා.
ඊට පිළිතුරු දුන් සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරිය" ස්වාමීනි.... අතිරේක ලේකම්වරයෙක් සහ අධ්‍යක්ෂ වරයෙක් අත් අඩංගුවට ගැනීමට නියමිතව තිබෙනවා " යනුවෙන් සඳහන් කළා.
යලි ප්‍රශ්නයක් මතුකළ මහේස්ත්‍රාත්වරයා" එම කාරණය අද දින ඉදිරිපත් කළ වැඩිදුර වාර්තාවේ සදහන් කර තිබෙනවාද? යනුවෙන් ප්‍රශ්න කළා.
ඊට පිළිතුරු දුන් සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරිය " නැත... ස්වාමීනි " යනුවෙන් කියා සිටියා.
එම අවස්ථාවේදී කරුණු දැක්වූ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා " ස්වාමීනි...තවත් සැකකරුවන් අත් අඩංගුවට ගන්නා තුරු මේ සැකකරු රිමාන්ඩ් භාරයේ තබා ගැනීම දඩුවමක්" යනුවෙන් සඳහන් කළා.
එම අවස්ථාවේදී විවෘත අධිකරණයේදී කරුණු දැක්වූ මහේස්ත්‍රාත්වරයා" මේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබෙන්නේ පොදු දේපල පනත යටතේ. පොදු දේපළ පනත යටතේ සුවිශේෂී කරුණු ඉදිරිපත් නොවන අවස්ථාවක සැකකරු නඩුව විභාගය අවසන් වන තෙක් රිමාන්ඩ් භාරයට පත් කිරීමට නියම කර තිබෙනවා. එය කොයිතරම් ප්‍රායෝගික ද යන්න මම සුදුසු අවස්ථාවේදී තීන්දු කරනවා. නමුත් මේ නඩුකරයේ ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිත සැකකරුවන් අත්අඩංගුවට ගන්නා තුරු සැකකරු රිමාන්ඞ් භාරයේ තබා ගැනීම සඳහා කරන ඉල්ලීම ඉදිරිපත් වන්නේ අදයි. එය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේත් සඳහන් කර නෑ." යනුවෙන් සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා මෙම නඩුකරයට අදාළ විමර්ශන කටයුතු අවසන් කර මීළඟ දින වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් අල්ලස් කොමිසමට නියම කළා.
ඒ අනුව මෙම නඩුකරය යළි ලබන 14 වන දා කැඳවීමට නියම කෙරුණු අතර එදින තෙක් මෙම සැකකරු තවදුරටත් රිමාන්ඞ් භාරයේත් තැබීමටත් නියම කළා.
මෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා තවත් ඉල්ලීමක් කරමින් මෙම සැකකරු දිගින් දිගටම නින්දෙන් හුස්ම සිරවීමේ රෝගයෙන් පෙළෙන බවත් මේ හේතුවෙන් ඔහුගේ ශරීරයේ සෝඩියම් මට්ටම ඉහළ ගොස් තිබෙන බවත් සඳහන් කළා
මෙම සැකකරුට බන්ධනාගාර රෝහලේ දී සහ වෙනත් රෝහල්වලදී සිදු කර තිබෙන පරීක්ෂණ හා ප්‍රතිකාර සම්බන්ධ සම්පූර්ණ වාර්තාවක් ලබා දෙන ලෙසත් ඒ ඔස්සේ තමන් ඉදිරියේදී කරුණු දැක්වීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියා.
එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා මෙම සැකකරුට ලබා දුන් ප්‍රතිකාර හා වෛද්‍ය පරීක්ෂණ පිළිබඳ පූර්ණ වාර්තාවක් මීළඟ දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළා.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ 2022 වසරේ මැයි මස 09 වනදා ඇති වූ අරගලයේදී හානියට පත්වීමෙන් පසු එකී දේපළ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ ඇතැම් රජයේ නිලධාරින්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් සිදු කර රුපියල් 8850000/- ක් වන්දි ලබා ගැනීම තුළින් "දූෂණය" නමැති වරද සිදුකිරීම සහ මහවැලි අධිකාරිය සතු දේපළක් සාපරාධී සාවද්‍ය පරිහරණය තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදු කළේ යැයි සැකපිට මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.




