වාද්දූව, තල්පිටිය ශ්‍රී දළදාවත්ත පුරාණ විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වනු ලබන දළදා පෙරහැර අද රාත්‍රියේ වීථි සංචාරය කෙරෙනවා.

ඒ අනුව රාත්‍රී 07 සිට හෙට අලුයම 01 පමණ දක්වා පෙරහැර වීථි සංචාරය කෙරෙන කාලය තුළ කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ වාද්දූව ප්‍රදේශය ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් ඇතිවිය හැකියි.

එම කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය රථවාහන රියදුරන්ගෙන් හා මහජනතාවගෙන් ඉල්ලීමක් කළේ.

ඒ අනුව කොළඹ සිට ගාල්ල දෙසට ගමන්ගන්නා රථවාහන පානදුර ඔරලෝසු කණුව අසලින් හොරණ පාරේ අලුබෝමුල්ල හරහා බණ්ඩාරගමට ගොස් බණ්ඩාරගම හන්දියෙන් දකුණත ඇති මොරොන්තුඩුව මාර්ගයේ ගොස් වාඩියමංකඩ හන්දියෙන් වමට හැරී කළුතර හරහා ගාල්ල දෙසට ගමන් කළ හැකි වනවා. එමෙන්ම ගාල්ල දෙස සිට කොළඹ දෙසට ගමන් ගන්නා රථවාහන වාඩියමංකඩ හන්දියෙන් දකුණට හැරී මොරොන්තුඩුව මාර්ගයේ බණ්ඩාරගම දක්වා ගමන් කර බණ්ඩාරගම හන්දියෙන් වමට හැරී අලුබෝමුල්ල හරහා පානදුර දෙසට ගොස් පානදුර ඔරලෝසු කණුව හන්දියෙන් දකුණට හැරී කොළඹ දෙසට ගමන් කළ යුතු බවයි පොලීසිය පැවසුවේ.